එයින් එකක් ගියා අහෝ ! කොහේද ඒ ගියේ..!

වසරකට පෙර අද වැනි දවසක මෙරට පුවත්පත් කලාවේ පහන් ටැඹක් වූ බඳු සුනිල් මාධව ප්‍රේමතිලක ස්වකීය ජීවිත අන්දරයට නැවතීමේ තිත තැබුවේය.

ඔහුගේ පියා වන ප්‍රවීණ මාධ්‍යවේදී මීමන ප්‍රේමතිලක විසින් පැටි වියේදී ම මිය ගිය ‘සමන්’ නම් පුතණුවන් අරභයා ‘මියගිය දරුවෙක්’ නම් කවි පංතියක් රචනා කළේය. එහි අවසාන කවියෙහි අවසන් දෙපදය මෙසේ නිම කළේය.

‘සුනිල් – සරත් – සමන් කියා රුවන් තුනක් තිබේ
එයින් එකක් ගියා අහෝ ! කොහේද ඒ ගියේ’

හරියට ම මෙයට වසරකට පෙර අනෙක් පුතුන් දෙදෙනා අතරින් වැඩිමහළු පුත් රුවන ද සමන් පොහොට්ටුව පිවිසි ලෝකයට ම ගමන් කළ බව මීමන ප්‍රේමතිලකයන් හට සැල වූවාදැයි අප ප්‍රත්‍යක්ෂ වශයෙන් නොදනිමු.

ඒ සමුගත්තේ ‘හඬනු මැන නිදහස’ ‘මිනිසෙක්’ සහ ‘අන්ධකාරයේ දරුවා’ වැනි සදානන්දකර පරිවර්තන රැසක් ඒ යුගය වෙත දායාද කළ සාහිත්‍යවේදියෙකි. ස්ටීව් බිකෝ, ඩොනල්ඩ් වුඩ්ස් මෙන් ම අලෙක්සැන්ඩර් පනාගොලීස් ද එපමණක් නොව ජුලියස් ෆුචික් සහ කැරොලිනා මරියා ඩි ජීසස් ද මෙරට තරුණ පරපුරට හඳුන්වාදුන් පුරෝගාමියෙකි.

පැහැරගත් මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මළ සිරුර මූදු තීරයකට ගොඩ ගසන, කාටූන් ශිල්පි ජෙෆ්රි යූනුස්ගේ මුහුණ මත මැහුම් දහසයක් ඉතිරිවන සේ කපා දමන එක්තරා භීම සමයෙක, කවර හෝ පසුබිමක් මධ්‍යයේ සුනිල් මාධව ප්‍රේමතිලක නම් පත්තරකරුවා ‘ලක්දිව’ පුවත්පතෙහි මුල් පිටුවෙහි ‘ප්‍රේමදාස ! අපි සූදානම්’ නම් වූ ඉතිහාසගත සිරස්තලය මුද්‍රණය කරන්නට සමත් විය.

ඔහු පිළිබඳ හදාරන අනාගත පරම්පරාව, කපිල එම්. ගමගේ විසින් 2016 වසරේ දී ‘ඉරිදා ලක්බිම’ පුවත්පතට රචනා කළ ‘ඇදහිලි සුරුවමක් නොවිය යුතු සුනිල් මාධව ප්‍රේමතිලක’ නම් ලිපිය අනිවාර්යයෙන් කියවිය යුතුයැයි යෝජනා කරන්නේ පසුකාලීන ජනප්‍රිය සමාජ සංස්කෘතිය විසින් ඔහුව හැඟවුමකට වඩා හැඟවුම්කාරකයක් ලෙස ඉස්මතු කළ බැවිනි.

සුනිල් මාධව විසින් සිංහලයට නැගූ ‘අන්ධකාරයේ දරුවා’ හෙවත් ‘කැරොලිනාගේ දිනපොත’ නම් කෘතියෙහි මුල් ලේඛිකාව වූයේ කැරොලිනා මරියා ඩි ජීසස් ය. බ්‍රසීලයේ සැක්‍රමැන්තෝහි දුගී මුඩුක්කුවක උපත ලද කැරොලිනා; අසහාය සාහිත්‍යවේදිනිය වරක් මෙසේ ප්‍රකාශ කර තිබිණ.

‘We have only one way to be born and many ways to die’

‘අපට ඉපදෙන්නට ඇත්තේ එක ම මාර්ගයක් වුව ද අපට මැරෙන්නට ඕනෑ තරම් මාර්ග ඇත’

කැරොලිනා මරියා ඩි ජීසස් ඉතා නිවැරදි ව එය ප්‍රකාශ කර තිබිණ.

ඔහු ඉපදෙන්නේ හොරණ මීමන නම් ග්‍රාමයේ කරුණාරත්න ප්‍රේමතිලකගේ වැඩිමහළු පුත්‍රයා ලෙස ය. ඔහු මිය යන්නේ ශ්‍රී ලංකාව නම් රටේ සුනිල් මාධව ප්‍රේමතිලක ලෙස ය.

– සහන් කසීර වික්‍රමසිංහ –

Social Sharing
අවකාශය නවතම