ගල උඩ මාළුව..!


-කේ. සංජීව-

අපි ජීවිතේ වැඩි හරියක් බඩ ගින්න නිවාගන්න කාපු කෑමක් තමයි මේ. අපි ගල උඩ මාළුව කියලා මේකට කිව්වේ ආදරේට. මොනාද අම්මේ අද හැදුවේ? කැකුළු බතුයි ගල උඩ මාළුවයි. ගොඩක් උදෑහනවල් ගෙවුනේ ගල උඩ මාළුවේ රස කහට දිවේ දවටලා. සපරගමුවේ මාළුව කියලා කියන්නේ ව්‍යාංජනයට. නැත්තං හොද්දට. ඉතිං මේකනම් හොද්දක් නෙවෙයි. පොල් සම්බෝලය කිව්වාම හැවෝම මේක අඳුරනවා. පොල් සම්බෝල කාපු නැති එකෙක් ලංකාවෙ ඉන්නවා කියලා මම නම් හිතන්නේ නෑ. මේකත් කේරළයෙන් ආපු කෑමක්ද කියන්න නම් මට තේරෙන්නේ නෑ ඒත් මේක අපේ ජීවිතයත් එක්ක ඇලුන රසක්. අද වෙනකොට මේ කෑම ගුණෙන් අනූනයි කියලා දොස්තරලා පෝෂණවේදියෝ කියනවා. බත් චුට්ටකුයි ගල උඩ මාළුව ගොඩකුයි එක වේලකට හැම අතින්ම සෑහෙනවා. බඩ අඩු කරනවා. කය ශක්තිමත් කරනවා.

ඒක තමයි මේකේ ගුණේ.

ඉස්සර ගෙදරක මිරිස් ගලක් වරදින්නේ නෑ ඒකට ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ තුනපහා කුඩු මිරිස් කුඩු එන්න කලින් මේ අඩුම කුඩුම අඹරලා තමයි ගත්තේ. පස්ස පස්සට දාලා ලතාවකට අඹරනකොට සම්බෝල වගේ ම රසයි.. කාන්තාවක් මිරිස් අඹරණවා බලන් ඉන්නකොටත් අපේ හිතත් ඇඹරිලාම යනවා. මේක ඉතිං පුරුෂ ආධිපත්‍ය කියලා කියන්න එපා. දැනුත් ඉතිං අඹර අඹර ඇවිදින නිදන ලස්සන කාන්තාවෝ එමට.

හරි මේකයි ගල උඩ කතාව. ගල උඩ සටන වගේ තමයි මේකත්. මුලින්ම ගල උඩට දාගන්නේ ටිකක් කළින් ලුණු පොල්කට්ටේ ඔබලා තිබ්බ රතු වේලිච්ච මිරිස් කරල් පොකුර. මේක උඩට ලුණු කැට ටිකක් දාගත්තාම නියමෙට පදමට මිරිස් කරල් ටික ඇඹරෙනවා. ගල ඉතිං කරකවන විදිහ ලියන්න ඕනී නෑනේ. හරි මුලින්ම මිරිස් ලුණු ඊළඟට මේක උඩින් තියාගන්නවා උම්බලකඩ ඒකත් ගලේ කොනක් උස්සලා ගහලා පොඩි පට්ටම් කරගන්න ඕනී මුලින්. ඒක ඔය කාන්තාවෝ දන්නවා පැත්තකින් තියාගෙන තාලෙට ගසාගන්න. ඊටපස්සේ අර මිරිස් ගුලියටම තියලා අඹරගන්නවා. ඊළඟට මේකට රතුළූණු හොඳට තියාගෙන චුරු චුරුස් ගාලා ජූසි එළියට වීසිවෙන විදිහට අඹරගන්නවා. ඊළඟට තමයි පුතෝ ගාගත්ත පොල් එකතුකරගන්නේ. පොල් රැහැන් ටිකක් ලොකුවට ඒකියන්නේ කේන්තියට වගේ පොලේ ගාගෙන තිබුණනම් බොලේ සම්බෝලේ එල වෙනවා. සමහරු ආස සිහිනියට. එහෙම ඈයන්ට එහෙම. මෙහෙම ඈයන්ට මෙහෙම. ඊළඟට පදමට ඇඹරුණාට පස්සේ මැටිකෝප්පෙකට මේක බාගත කරගෙන දෙහි සාරු සරුවට දාගෙන ඇගිලි අස්සෙන් චර චර ව එළියට එන විදිහට සම්බෝලේ සම්බාහනය කරගන්න ඕනී. ඔන්න ඕක තමයි සම්බෝලයේ නැත්තං ගල උඩ මාළුවේ මූලික ස්වරය. ඊළඟට ඉතිං අපිට ගම්මිරිස් සුදුළූණු අඹරන්න පුලුවන්. එතකොට ගල උඩ මාළුව තව රස වෙනවා. අපි වියලි රතු මිරිස් දානකොට කරල් පහා හයක් ලිබ්බොක්කේ දාලා ගන්න. අරන් අඹරගන්න එතකොට සම්බෝලෙ වෙන රහක්. ඊළඟට ඔයාට පුලුවන් ගෙදර සූඩයෙක් ඉන්නවානම් ලිබ්බොක්කේ ඔබන්න ඔබලා පුච්චලා අරං ඒක උඩ දෙහි ජූසි අතුරන්න. ඊළඟට ඉතිං සූඩයා ගල උඩ තියලා අවුම් ගලෙන් පාරක් දෙකක් ආදරෙන් ගහලා හදාගන්න පුලුවන්. එහෙම ගහලා අරකත් එක්ක අඹරගත්තාම පොල් සම්බෝලේ නැත්තං ගල උඩ මාළුව තවත් වෙනස්ම රසක් අපිට දෙනවා.

ඊළඟට මිරිස් අඹරනකොට ඔයාට පුලුවන් කොළට කොළේ නැවුම් කරපිංචා ඉති ටිකක් අඹරගන්න. ඔන්න එතකොට ගල උඩ මාළුව තවත් රසක් ගන්නවා. ඊළඟට මේ ඇඹරිල්ල කරනකොට ගල උඩට අබ ටිකක් හලා ගන්න. ඒක චිරි චිරියේ ඇඹරෙනකොට තවත් රසක්. මේ සේරම ස්වර එකතුකරලා සිම්පනියක් හදන්නත් පුලුවන්. එතකොට ඒක අමාරස.

ඊළඟට සම්බෝලේ අඹරලා අරගෙන කරන පොඩි පොඩි සාත්තු නිසත් මේකේ රස වෙනස් වෙනවා. දෙහි දාන විදිහත් එකක්. ඔයාට පුලුවන් දෙහි ගෙඩිය අලුපල්ලේ දාලා පුච්චගෙන ජූසි හලාගන්න. එතකොට ඉතිං තවත් රසක්. ඊළඟට කොළ මිරිස් චූටියට සූපින්ව කපාගෙන ඒ අහුරක් සම්බෝලෙට එකතුකරගෙන සම්බාහනය කරගන්නත් පුලුවන්. ඒක වෙන රහස් ලස්සන පෙනුමක්. ඊළඟට ඉතිං මේකට ලොකු ළූනු රවුමට කපාගෙන සම්බෝල කරගන්න පුලුවන් එතකොට තවත් රහස් සුදූ. ඊළඟට මිරිස් කොළ ටිකක් කර කරේට බැදලා ඒක මික්ස් කරගෙන බොන්සාලේ සාලේ ඉඳගෙන කාලා බලන්නකෝ.

ඊළඟට සම්බෝලෙ මෙහෙම අඹරගෙන ඒකට තව වතුර සුගක් දාගෙන මේක ලිපේ තියන්න. ලිපේ තියලා ඒකට හාල්මැස්සෝ යහමින් දාගන්න. ආ තව සියඹලා සුදුළූණු එහෙමත් එකතුකරගෙන තම්බගන්න ඕනී. හොද්දක් හින්දවගන්නවා වගේ. මේක ගල උඩ මාළුවේ හොදි වර්ෂනය. සුදු බත් මරන්න නම් මීටවඩා බොන්සාලයක් තවත් නෑ.

ඊළඟට ඉතිං අපි හදනවා සුදු සම්බෝලේ කියලා එකක්. ඒ හදන්න ගන්නේ නයි කොච්චි. අර විදිහටම තමයි වැඩේ යන්නේ. රතු මිරිස් වෙනුවට අමු කොළ නයි කොච්චියා වැඩේට එන්ටර් වෙනවා. හොඳට උම්බලකඩ හොඳට රතුළූණු ඇඹරුනාම ගැවුන ගැවුන තැන කන්න පුලුවන්. අපි රොටී කන්න පාන් කන්න මඤ්ඤොක්කා කන්න ටකස් බකස් ගාලා අපි ඉතිං හදාගන්නේ මේ සුදු සම්බෝලේ.

ඊළඟට අපි හදනවා කළු සම්බෝලේ කියලා එකක්. ඒක නම් ඉතිං අමෘත රස තමයි දෙන්නේ. උණ හැදුනාම උගුර බැරැන්ඩි උනාම සෙම්ගෙඩි ආවාම කන්න අප්පිරියා උනාම අම්මා මේක හදන්න අමතක කරන්නේ නෑ. මේකට පොල් ගාලා නෙවෙයි ගන්නේ. පොල් උදුරලා තමයි ගන්නේ. උදුරලා අරගෙන පොල් පුච්ච ගන්න ඕනී. පොල් පොත්ත හොඳට කළු වෙන්න ඕනී ඇතුල සුදු පාටට හිනාවෙන්න ඕනී. අගුරු ටික පිහියෙන් හූරලා ගල උඩ තියලා ගලෙන් ඇනගෙන ඇනගෙන යන්න ඕනී. ජූසි සුදුවට එළියට පැන්නට පස්සේ ඒක උඩ ඔය අනෙක් සේරම අඩුම කුඩුම අඹරගන්න ඕනී. විශේෂයෙන් වැඩියෙන් ගම්මිරිස් නයි කොච්චි සුදුළූණු එකතු කරගෙන අඹරගන්න ඕනී. ආ කියන්න අමතක උනානෙ අපි මේකට රතුළූණු දාන්නේ නෑ. සුදුළූණු තමයි ඒ වෙනුවට අඹරන්නේ. ඊළඟට කරපිංචා යහමින් දෙහි යහමින් දාගන්න ඕනී. පුලුවන්නම් උම්බලකඩ හරි සූඩයෙක් පුච්චගෙන මේකට දාගන්න. දාගෙන අඹරගන්න එතකොට තවත් රසයි.

ඕක තමයි ඉතිං බොන්සාලේ රස සාලේ… කතාව හොඳ සැරට සම්බෝලයක් හදාගෙන රොටියක් පුච්චගෙන කහට කෝප්පෙකුත් වක්කරගෙන මේක කියවන්න…!

 

Social Sharing
අවකාශය නවතම