භාරතීය ජනතා පක්ෂය…!

– සහන් කසීර වික්‍රමසිංහ –

‘භාරතීය ජනතා පක්ෂය’ අලුතෙන් ලංකාවේ පිහිටුවීමට උවමනාවක් නැත. දසක තුනකට පමණ ඈත යුගයක රංජිත් එදිරිසිංහ නම් පුද්ගලයෙක් එම පක්ෂය ආරම්භ කර තිබිණ. හෙතම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපේ නිවෙස්වලට කඩා පැන සොඳුරු බලහත්කාරයෙන් අපව එම පක්ෂයට බඳවා ගත්තේ ය.

ඔහු රූප පෙට්ටිය ඇතුළේ සිට එය ‘භාරත ගී වින්දන’ යන නමින් හඳුන්වාදෙන විට නොසණ්ඩාල අප එයට ‘හාරත ගී වින්දන’ යනුවෙන් පද බැන්දෙමු. ස්වභාවයෙන් ම උඩඟු වූ එදිරිසිංහයාණෝ එය නෑසූ කන් ඇතිව, මද සිනහවකින් සැරසී පෙර සූදානම්ව පැමිණි ආකාරයෙන් ම, සාවධානව එක පෙළට කතා කරගෙන – කරගෙන ගියේ ය. ඕනෑම ගීතයක් වාදනය වන්නට පළමුව ඔහු එහි අලගිය මුලගිය තැන් එකකුදු මගනොහැර ම සඳහන් කරන බව අප ඉඳුරා ම දැන සිටියෙමු. ‘මේ මනුස්සයා නම් ගියාත්මේ ඉන්දියාවේ හිටිය කෙනෙක්ද කොහෙද’ සමහරෙක් ඔහු දෙස බලමින් පැසසුම්සහගත විස්මයක් මුදාහරින්නට අමතක නොකළහ. ‘වගකීම් සහගත තොරතුරු විශ්ලේෂණය සහ විශ්වසනීයව ඉදිරිපත් කිරීම’ යනු එදා පැටි වියේ සිටි මා ‘භාරත ගී වින්දන’ වෙත ලෝලනය කළ කරුණ සහ ඉන් උගත් වැදගත් ම කරුණ ය.

ඔහු දේවිකා රාණිගේ සිට නර්ගීස්, මධුබාලා, ආශා පරේක්, හේමා මාලිනී, ශ්‍රී දේවි, කාජල් දක්වාම මහත් වූ අභිරුචියෙන් වර්ණනා කළේ ය. ‘බාබුල්’ චිත්‍රපටය ගැන ද දිලිප් කුමාර් සහ සුල්තානා ගැන ද බොහෝ විස්තර කීවේ ය. බාබුල් ! ටී.බී. ඉලංගරත්නගේ ‘විලම්බීත’ නවකතාවේ සිටි තිලක පාසැල් නිවාඩුවට සුමනගේ පවුලේ උදවිය සමඟ ගොස් නැරඹූ චිත්‍රපටය බාබුල් ! එසේ ම 1960 වසරේ මෙරට තිරගත වූ ‘සුන්දර බිරිඳ’ චිත්‍රපටයට ජී.එස්.බී. රාණි පෙරේරා ඇතුළු පිරිස ගායනා කළ ‘සැංගී සැංගී සූර්ය රාජයා දිලෙන්නා’ ගීතයේ මුල් ගීතය වන්නේ 1959 වර්ෂයේ තිරගත වූ ‘අනාරි’ චිත්‍රපටයේ එන ‘බන්කේ පන්චී ගයේ ප්‍යාර් කා තරානා’ යන්න බවත් ශන්කර් ජයකිෂන්ගේ සංගීතයට ලතා මංගේෂ්කාර් ඇතුළු පිරිස ගායනා කරන විට නූටාන් රංගනයේ යෙදුණ බවත් හෙතෙම දැන සිටියේය. එය අපට පවසන්නට ද අමතක නොකළේය. ප්‍රේම ගීතවල සිංහල අරුත පැහැදිලි කර අවසානයේ මත් වූ මනමාල ලීලාවෙන් කැමරාව දෙස ද බැලුවේය. ඉඳහිට ‘අසවල් චිත්‍රපටයට එම ගීතය කුමාර් සානු වගේ ම අල්කා යාග්නික් ද ගායනා කළා’ වැනි අප්‍රභංශ ප්‍රකාශ ද ගෙනහැර පෑය. කුමාර් සානු මෙන් ගී ගයන අල්කා යාග්නික් කෙනෙක් පිළිබඳ හිතෙන් මවාගන්නට අපොහොසත් වූ නුමුදු අපි ප්‍රශ්න නොඅසා ඔහුගේ බස් අසා සිටීමට පුරුදු වීමු.

භාරතීය ජනතා පක්ෂය අලුතෙන් ලංකාව තුළ පිහිටුවීමට උවමනාවක් නැත. බේස් වැඩි කටහඬක් ඇතිව කපටි සහ ඉලන්දාරි ලීලාවෙන් කැමරාවට සිනාසෙන මිනිසෙක් කාලාන්තරයකට පෙර එම පක්ෂය රූපවාහිනී නාලිකාවක් හරහා පිහිටුවා ඇත. අපේ ජීවිත කිසිදා විසඳිය නොහැකි අවුල් ජාලාවක පටලවා පාඩුවේ පැත්තකට වී සිටින ඔහු නමින් රංජිත් එදිරිසිංහ ය.

 

 

Social Sharing
අවකාශය නවතම