I see you

ඇවටාර් චිත්‍රපටිය බලපු අයට මතක ඇති, පැන්ඩෝරාවෙ ස්වදේශිකයන්, තමන් ආදරේ අයට “මම ඔයාට ආදරෙයි” ( I love you) කියලා කියනවා වෙනුවට කියන්නෙ ” මම ඔයාව දකිනවා” ( I see you) කියලයි.

අනෙකාව දකිනවා කියන්නෙ බරපතල කාරණාවක්. මම හා සමාන තවකෙක් මේ ඉන්නෙ කියන කාරණාවත්, මතුපිටින් බලනවා වෙනුවට එයාගෙ සමස්ත පැවැත්මෙ කොටසක් බවට පත් වීමත් මේකට අයිතියි.

අනෙකාව දකිනවා කියන්නෙ ශාරිරීකව දැකීමකට එහා ගිය යමක්. ඒ දැකීම ඇතුළෙ, තේරුම් ගැනීමේ, පිළිගැනීමේ, ගැඹුරින් සම්බන්ධ වීමේ දැකීමක් අපි හැමෝම හොයනවා. මම අනෙකාව දකින මොහොතේ මගෙත්, එයාගෙත් පොදු දුර්වලභාවය, මනුෂ්‍යත්වය සහ ආදරය විසින් අපිට තෑගි කරන දිව්‍යමය ස්වාභාවය කියන සියල්ල විටින් විට දකින්න අපිට ඉඩක් ලැබෙනවා.

අන්න ඒ දැකීම ඇතුළෙයි අපි හෙමින් මුමුණන්නෙ,

“මට ඔයාගෙ වේදනාව පේනවා”

“මට ඔයාගෙ ශක්තීන් පේනවා”

“මට ඔයාව පේනවා වගේම ඔයාව දැක්කම මට පේන සියල්ලම මම පිළිගන්නවා. අමාරුවෙන් වුණත් මම පිළිගන්නවා”

” මම ඔයා තුළ දකින සමහරදේට අකමැති වෙන වෙලාවලදිත්, ඔයා මට වඩා වෙනස් දෙයක් විශ්වාස කරනවා කියලා මට පෙනෙද්දිත්.. මම ඔයාව පිළිගන්නවා”

” මම ඔයාගෙ ආලෝකය දකිනවා”

” ඔයාව විනිශ්චය නොකර, ඔයාට චෝදනා නොකර, මම ඔයාව දකින්න උත්සහ ගන්නවා. මම ඔයාව දකිනවා”

” මගේ බලාපොරොත්තු සහ ඔයා මතට මගේ අදහස් බලෙන් පටවනවා වෙනුවට, ඒ සියල්ලෙන් නිදහස්ව මම ඔයාව දකිනවා. මගේ විනිශ්චයන් සහ මගේ බලාපොරොත්තු ඔයාගෙ අනන්‍යතාවයට හානි කරලා ඔයාව හංගන්න පුළුවන් නිසා, මම ඒවයින් නිදහස්වෙලා ඔයාව දකිනවා”

“මම ඔයාව ඔයා ජීවත්වෙන්න තෝරගෙන තියෙන විවිධ තලවලදි දකිනවා. ඒ වගේම ඔයා ඔයාගෙ උරහිසේ දරාගෙන එන අත්දැකීම් සියල්ල ඇතුළෙ මම ඔයාව දකිනවා. ඒ සියල්ල මහා ධනයක් වගේ ඔයාව නිර්මාණය කරපු හැටි මට පේනවා”

” මම ඔයාව දකිනවා. ඒක තමා මම ඔයාව කොන්දේසි විරහිතව බාරගන්න ක්‍රමය. ඒ විදිහට ඔයාව දැකීමෙන් මම හිතනවා මම ඔයාට ඉඩදෙනවා කියලා ඔයාට ඔයාව ඔයා විදිහට දකින්න සහ බාරගන්න”

“මම ඔයාව දකිනවා. ඔයාව ඔයාගෙ ආලෝකය ඇතුළෙ මම දකිනවා. මගේ පාට කණ්නාඩි වලින් එහාට, වෙස් මුහුණුවලින් ඇතුළට සහ අහිමිව යාමේ බයෙන් එහාට මම ඔයාව දකිනවා”

“ඒ නිසා මම ඔයාට කියද්දි මම ඔයාව දකින බව, ඒකෙන් මම අදහස් කරන්නෙ මගේ විනිශ්චයන්, මගේ පූර්ව විනිශ්චයන් මේ සේරම පැත්තකින් දාලා ඔයාගෙ ඇත්ත ඇතුළෙ මම ඔයාව දකින්න උත්සහ ගන්නවා. ඔයාගෙ ඒ ඇත්ත මම පිළිගන්නවා කියන එකයි”

මම ඔයාව දකිනවා මොකද මට මාවත් පේනවා.

ඔයාගෙ යහපත, අයහපත, ආලෝකය සහ අඳුර මේ සියල්ල ඇතුළෙ මම ඔයාව දකිනවා. මට උවමනායි ඔයා ඒක මතක තියාගන්නවා දකින්න. මට ඔයාව වැදගත්. මට ඔයාව හුඟක් වටිනවා. ඒ නිසාම ඔයා මගේම කොටසක්.

ඒ නිසා මතක තියාගන්න,
මම ඔයාව දකිනවා (I SEE YOU) ❤️❤️

සටහන: Maureen Araullo
FB පිටුව: Earthmonk
අනුවර්තනය: ෂෙනූ පෙරේරා

 

Social Sharing
අවකාශය නවතම