කහ ඇමති කෙනෙක් ඕනෑ කර තිබේ.

වෙනදාට උතුරුකරෙන්, නැගෙනහිරෙන් මුහුදෙන් ආවේ නීති විරෝධී මත්ද්‍රව්‍යය ය. ආරක්ෂක අංශ බුරුතු පිටින් එදා අත්අඩංගුවට ගත්තේ ඒවාය. නමුත් ඔවුන්ට අද අත්අඩංගුවට ගන්න සිදුව ඇත්තේ මත්ද්‍රව්‍ය වෙනුවට වෙනත් දෙයකි. ඒ කහය. කහ පාර්සල් පිටින් දැන් මුහුදෙන් එන්නේය.

එපමණක් නොව කහ කන්ටේනර් පිටින් එන්නේය. ඒවා රේගුවේ හිර වෙන්නේ නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද ඒවා බව පවසමිනි.

කහ අර්බුදය පටන් ගත්තේ කොරෝනා කාලයේ සිටය. දැන් එය උග්‍ර වී ඇත. රටේ කහ සොයා ගැනීමට තැනක් දැන් අපහසුය. විදේශයෙන්ද කහ ගෙන්වීම අත්හිටුවා ඇත. එමෙන්ම දේශීය කහ වගා කරුවාටද කහ අලෙවි කිරීමට උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. ඒ රුපියල් 750 කි. ඊට වඩා වැඩි මිලට අලෙවි කිරීම තහනම්ය.

මේ නිසා ඇතැම් ස්ථාන වල කහ තිබුණත් ඒවා සඟවා තබා ඇත. කහ වැඩියෙන්ම අවශ්‍ය වන්නේ දමිළ ජනතාවටය. ඒ ඔවුන්ගේ පුද පුජාවන් සඳහාය. එමෙන්ම කහ වල ඇති ඖෂධීය ගුණය නිසාද කහ වලට රූපලාවන්‍ය අතින්ද දැඩි ඉල්ලුමක් පවතියි. නමුත් කහ නොමැතිකම නිසා මේ දිනවල ඔවුන්ට සිදුව ඇත්තේ කහ නොමැතිව විකල්ප ආදේශ වලට යොමු වීමටය.

වෙනදාට ආහාර පාන වලට කහ යෙදවුද දැන් නිවෙස් වල ආහාර පිසින්නේ සුදටය. ඒ කහ නොමැතිවය. අවම වශයෙන් කහ ග්‍රෑම් 50 ක් දැන් රුපියල් 175 ක් වත් වේ. ඒද නියම කහ නොවේ. කෘත්‍රිම රසකාරක, වර්ණක, පාන්පිටි සහ සහල් පිටි යොදා ප්‍රමිතියෙන් තොරව සැකසු කහය.

මේ අතර පහුගියදා ඇමතිවරු දිවුරුම් දිමේදී බොහෝ අය මුහුණු පොතේ පෝස්ටු දැමුයේ කහ ඇමති කෙනෙක් නැද්ද කියා විමසමිනි. ඒ බඩ ඉරිඟු, බුලත්, කජු ආදි වලට ඇමතිවරු පත් කරන්නේ නම් මිනිසුන්ට අත්‍යවශ්‍ය කහ වලට ඇමති කෙනෙක් නැත්තේ මන්ද කියාය.

මේ අතර ඊයේ දිනයේ රජය ප්‍රකාශ කර ඇත්තේ වසර එක හමාරකටවත් කහ විදේශයෙන් ගෙන් වීමට තීරණය කළ බවය. ඒ වසර එක හමාර තුල මෙරට දේශීය කහ ගොවියා ශක්තිමත් කරන බවද රජය ප්‍රකාශ කර තිබුණි.  දැන් ඉතිං ඇත්තේ පිටරට කහ එනතුරුවත් ඇඟිලි ගනිමින් බලා සිටීම පමණි.

-ශානිකා-

Social Sharing
නවතම