හැරී කුමරු රැඩිකල් ද…? 

එළිසබෙත් මහ රැජිනගේ මරණයෙන් පසුව බ්‍රිතාන්‍ය රජ පවුලේ රහස් හෙළි වීම ආරම්භ වනු ඇතැයි ” D ” පොතේ ලියුවා මතකය. තව දින කීපයකින් එනම් ජනවාරි 10 වැනිදා අන්තර්ජාතික වෙළඳ පොළට එක වීමට නියමිත SPARE නමින් හඳුන්වා ඇති හැරී කුමරුගේ චරිතාපදානය එහි එක් පියවරක් වනු ඇතැයි මට සිතේ.

සත්‍ය වශයෙන්ම මේ පොත ලියා ඇත්තේ (Ghost Writer ) හැරී කුමරු නොව පුලිට්සර් සම්මානය දිනූ ප්‍රකට ඇමරිකානු පුවත් පත් කලාවේදියෙකු මෙන්ම ලේඛකයෙකු වන JR Moehringer විසිනි.

එළිසබෙත් මහා රැජිනට, පිලිප් කුමරුට , චාර්ල්ස් කුමරුට , ඩයනා කුමරියට , කැමිලා බෝව්ල්ස් ට , එසේත් නැතිනම් විලියම් කුමරුට ජීවන මතක පොතකට ගොනු කරන්නට තරම් (Memoir ) රසවත් කරුණු සම්භාරයක් තිබෙන්නට හැකි වුවද හැරී කුමරුට තිබිය හැකිද…? තිබුණත් , නැතත් අද බ්‍රිතාන්‍ය රජපවුලේ සාමාජිකයින් අතරින් ලෝකයා ගේ අවධානය වැඩියෙන්ම දිනා ගන්න පුද්ගලයා හැරී කුමරුය.

අපි හැමෝටම කතාවක් තිබුණත් එය රසවත් නොවන්නට පුළුවන. එසේ වුවද හැරී කුමරුගේ කතාව රසවත් විය හැක්කේ එය බොහෝ විට රජ පවුල විවේචනය කිරීම අරභයා, එමෙන්ම රජ පවුලේ චාරිත්‍ර වලට යටවුණු තම ළමා කාලයේ අඳුරු සෙවනැලි ගැන කියන්නට ඔහු නියත වශයෙන්ම යොදා ගන්නා නිසාය.

පොතේ නම SPARE නම් වෙයි. දන්නා ඉංග්‍රීසියේ තරමට එහි තේරුම “අමතර ” යන්නයි. එමෙන්ම Extra, Additional, More than you need වැනි අරුත් එහි ගැබ්වී තිබෙන්නට පුළුවන. හැරී තමාව හඳුන්වා ඇත්තේ රජ පවුලට වැඩි වුවමනාවක් නැති “අමතර” අයෙකු වශයෙනි.

විලියම් කුමරු බ්‍රිතාන්‍යයේ අනාගත ඔටුන්න හිමි කුමරාය . රජ පවුලේ උපත ලැබුවත් , ඔටුන්න හිමි කර ගන්නට හැරීට ඇති හැකියාව ඉතාම හීන එකකි. නැති තරම්ය. කිසි දිනක මිතුරන් නොවූ මේ දෙදෙනාව ( හැරීගේ මංගල්‍යයේදී විලියම් දෙවැනි මනාලයා වූ බව සැබෑය ) හඳුන්වන ලද්දේ Heir and Spare යනුවෙනි. පොතේ නම වශයෙන් හැරී SPARE තෝරා ගන්නට ඇත්තේ ඒ නිසාම විය යුතුය.

තම මවගේ දේහය පිටුපසින් ඇවිද යන පුතුන් දෙදෙනාට කඳුළු සැලීමේ අයිතිය පවා රජ පවුලේ චාරිත්‍ර වලට අනුව තහනම් දෙයක් විය. මවගේ අහිමි වීමෙන් වැඩියෙන්ම වියෝවට පත් වූයේ හැරී කුමරා යැයි කීම නිවැරදිය. විලියම් කුමරුට හිමිවුණු සැළකිල්ල ඔහුට හිමි නොවෙද්දී තරුණ වියට පා තබන විට සමාජයෙන් ලැබුණු අසීමාන්තික අවධානය සහ මාධ්‍ය ප්‍රචාරය හමුවේ හැරී අතරමං වුණු පුද්ගලයෙකු බවට පත් විය. එළිසබෙත් මහ රැජිනගේ ප්‍රියතම කුමරා විලියම් බවට පත් වෙද්දී , ඔහු අනාගත රජකමට වක්‍රාකාරයෙන් පුහුණුව ලබද්දී , සත්‍ය වශයෙන්ම හැරීට ලැබුණේ අඩු සැළකිල්ලකි. ඔහු ජීවත් වූයේ විලියම් ගේ සෙවනැල්ල යටයි.

හැරී යනු රජ පවුලේ රාජකීය සම්ප්‍රදායන් , චාරිත්‍ර වලට ගරු නොකළ තරුණයෙකි. නිරන්තරයෙන්ම ඉහළ පහළ ගිය ජීවන රටාවකට හිමිකම් කී ඔහුව හඳුන්වනු ලැබුවේ රජ පවුලේ BAD BOY යනුවෙනි. රජ පවුලක උපත ලැබුවත් , සියලු සැප සම්පත් වලින් පිරුණු ජීවිතයක් ගත කළත් හැරී බලාපොරොත්තු වුණු සම තැන, සම සැළකිල්ල ඔහුට නොලැබුණා විය හැකිය. ආත්ම අභිමානය , ආත්ම විශ්වාසය මේ තරුණයා වෙතින් පලා යමින් තිබුණු මොහොතක , ඔහුගේ ජීවිතයට ඇතුලු වුණු ගැහැනියකි. තමන්ගේ සිතුවිළි , හැගීම් පවසා ගනු නොහැකිව සිර ගත ජීවිතයක් ගත කරමින් සිටි මේ රජ කුමරාට නිදහස ලබා දුන් ගැහැනියගේ නම මෙගාන් නම් වූවාය.

හැරී ගේ හැසිරීම් , කතාබහ , අතීත තොරතුරු ක්‍රියාකාරම් ගැන මෙනෙහි කරන තමෙකු ඔහුව හඳුන්වනු ඇත්තේ වෙනස් , රැඩිකල් අදහස් ඇති අයෙකු ලෙසයි. එහෙත් සත්‍ය වශයෙන්ම රැඩිකල් අදහස් ඇත්තී වෙන කිසිවෙකු නොව ඔහුගේ ජීවිතය උසුලා ගත් බිරිඳ මෙගාන් මාර්කෙල් ය . රාජකීය සිරකරුවාට නිදහස දෙන්නට ඇය සමත් වූවාය .

සෑම ගැහැනියක්ම මෙන් ඇය රඟපෑමේ දක්ෂ තැනැත්තියකි. වෙනස වන්නේ ඇය වෘත්තියෙන්ද නිළියක් වීමයි.

හැරී- මෙගාන් ගැන නොයෙක් ආදර වදන් ලියවී තිබේ. ඔවුන් දෙදෙනා එකිනෙකා දෙස
ආදරයෙන් බලා සිටින ඡායාරූප වලට අපූරු සිතුවිලි ලියන්නට ඇතැමුන් උත්සුක වූහ. එහෙත් ඡායාරූප වල ඇත්තේ සත්‍ය ජීවිතය නොවේ. යතාර්ථය ඇත්තේ පිංතූරයට පිටුපසිනි. සමාජයට පෙනෙන්නට, සිනහවෙන් ඡායාරූපවලට මුහුණ දී පවුල් සංස්ථාව තුළ දී මහා රැජිනගෙන් අනසකට යටත්ව සිටීමට අකමැති වන මෙගාන් තම සැමියාගේ මනස වෙනස් කිරීමේ කාර්යය ඇරඹුවාය . නිළියක වුවද රඟපෑම ඇයට එපා වී තිබුණි.

රජ සැප , රාජකීය සම්ප්‍රදායට පයින් ගසා , රජ පවුලෙන් පිටවී යන හැරී – මෙගාන් ගේ එකම අරමුණ වන්නට ඇත්තේ තමන්ට නිසි තැන ලබා නොදුන් රජ පවුලට රිදවීම විය හැකිය. අනෙක් අතට රජ පවුල විවේචනය කිරීම , රජ පවුලේ වැරදි , දුර්වල කම් ලෝකයට හෙළි කිරීම හොඳ ආදායම් මාර්ගයක් වන බවද හැරී – මෙගාන් නොදැන සිටියා විය නොහැකිය. රජ පවුලට එරෙහිව යමක් ලිවීම , යමක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම මාධ්‍ය අවධානය යහමින් දිනා ගත හැකි ක්‍රමයකි. රජ පවුලේ කැපී පෙනෙන සාමාජිකයින් වූ ඩයනා කුමරිය Andrew Morton සමග එකතු වී Diana : Her True Story නමින් පොතක් ලියද්දීද , සාරා ෆර්ගියුසන් Finding Sarah නමින් පොතක් ලියන විටද , අටවැනි එඩ්වර්ඩ් A king’s Story නමින් පොතක් ලියන විටද එමගින් ලබා ගත හැකි වාසි දැන සිටින්නට ඇත.

තමන්ගේ පවුල, එහි අඩුලුහුඩුකම් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම කොතරම් සදාචාර සම්පන්න දැයි මම නොදනිමි. එසේ වුවද පවුල පාවා දී , පවුලේ නිරුවත ලොවට පෙන්වා දී යම් මුදලක් උපයා ගන්නට හැකි නම් එහි වරදක් නැතැයි ඇතැමෙකුට කිව හැකිය.

2021 වසරේ Random House ආයතනය මුල් වරට SPARE පොත ගැන දැනුම් දුන් වෙලේ ඔවුන්ගේ අදහස වූයේ 2022 වසරේ ජූනි මාසයේ එය එළි දක්වන්නටයි. එහෙත් 2022 මාර්තු මාසය වන විට නරක අතට හැරෙමින් තිබුණු මහ රැජිනගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් එළි දැක්ම කල් ගියේය. රජ පවුලේ දාමරිකයින් දෙදෙනාම , එනම් පිලිප් කුමරු සහ එළිසබෙත් මහා රැජින යන දෙදෙනාම මියගොස් සිටි නිසා රජ පවුල ගැන තමන් දන්නා කුණු කන්ද බිම හෙලන්නට හැරී මේ පොත අවස්ථාවක් කර ගනු ඇත.

2021 වසරේ Oprah Winfray සමග පැවැත්වූ සාකච්ඡාව CBS ආයතනය විසින් මිලදී ගනු ලැබුවේ ඩොලර් මිලියන 07 කටයි. හැරී – මෙගාන් මේ සාකච්ඡාව වෙනුවෙන් කිසිදු මුලක් ලබා නොගත් බව වාර්තා සදහන් කලද වින්ෆ්‍රේ ගේ Harpo Production ආයතනය විසින් දෙදෙනාට ලබා දුන් මුදල ගැන ප්‍රසිද්ධ රහසක් පවතියි.

2020 වසරේ දී රජ පවුල හැරදා යන හැරී – මෙගාන් දෙදෙනා වෙත පැමිණි මුල්ම නිෂ්පාදන ආයතනය Archewell ආයතනයයි . ගිය වසරේ NETFLIX වෙනුවෙන් Meghan & Harry යනුවෙන් ඔවුන් නිපදවූ කොටස් හයකින් යුතු වැඩසටහන වෙනුවෙන් හැරී – මෙගාන් ලබා ගත් මුදල ඩොලර් මිලියන 100 වශයෙන් වාර්තා වෙයි .
“No one knows the full truth. We know the full truth.” යනුවෙන් පවසන හැරී – මෙගාන් ගේ හෙළිදරව්ව වෙනුවෙන් දෙදෙනා අති විශාල මුදලක් හිමි කර ගත්හ .

SPARE වෙනුවෙන් Random House ආයතනය ඩොලර් මිලියන 20 ක් මුදලක් හැරීට ගෙවා තිබේ. මෙයින් හරි අඩක් අසරණ දරුවන් ගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් වැය කරන බව ඔහු කියා සිටියි. ලබන 10 වැනිදා රටවල් 16 ක භාෂා 16 කින් එකවර එළි දකින්නට නියමිත මේ පොතේ පිටපත් මිලියන 04 ක මතින් හැරී තවත් විශාල ආදායමක් උපයා ගනු ලබයි. එපමණක් ද නොවේ . පොතේ ප්‍රචාරක කටයුතු වලට හැරී ලොව වටා යන සංචාර වලදී ඔහුගේ ගෙවීම් කරනු ලබනේ නියමිත රටේ ප්‍රකාශන ආයතනය විසිනි. මේ සියලුම ආදායම් එකතු වුණු විට රැඩිකල් හැරී තම පවුලේ තොරතුරු අලෙවි කර උපයා ගන්නා මුදල මිලියන 35 කට ආසන්න වෙයි.

බ්‍රිතාන්‍ය රජ පවුල යනු නරුම තැනක් බව අපි දනිමු. තමන්ගේ පැවැත්මට එරෙහිව යනවුන් විනාශ කිරීම ඔවුන්ගේ සිරිතයි. ( මේ ගැන හරි වැටහීමක් ලබා ගැනීමට Jon King / John Beveridge ගේ Princess Diana – The Hidden Truth , How MI6 and the CIA were involved in the death of Princess Diana නම් පොත කියවන්නැයි ඔබෙන් ඉල්ලා සිටිමි. ) එසේ වුවද හැරී – මෙගාන් දැන් නිදහස් යුවළකි . මහ රැජින ගේ මරණයෙන් පසු දැන් ඉතිරිව ඇත්තේ පෙර පැවති බලවත් රජ පවුල නොවේ. එහි ඇතුලාන්තය අලෙවි කර මුදල් ඉපයීම කිසිවෙකුටත් බාධාවක් නොවනු ඇත.

විශේෂයෙන්ම හැරී ට සහ මෙගාන් ට ….

Social Sharing
අවකාශය නවතම