විෂය පථය කුමක් වුවත්  ජනතාවට සේවය කිරීමට කැපවෙන්න – වෙඬරුවේ උපාලි හිමි

තමන්ට හිමිවුණු විෂය පථයක් කුමක් වුවත්  ජනතාව වෙනුවෙන් සේවය කිරීම සියලු අමාත්‍යවරුන්ගේ වගකීම වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් පවසති.

සියලු ජනතාවට රුපියල් දස දහසක ආධාර මුදල් ලබා දෙන බව ඇතැමුන් දේශපාලන වේදිකායේ ප්‍රකාශ කළත් ඒ සියල්ල පසෙකලා ජනතාව රට වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යය සිදු කර ඇති බව මැනවින් පැහැදිලි වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් අද (13) පෙරවරුවේ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළහ.

රට ගොඩනැඟීම සඳහා ජනතාව රජය වෙත විශ්වාසය පළ කර ඇතැයි  සඳහන් කළ උන්වහන්සේ තවදුරටත් මෙසේද කීවේය.

තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කිරීම සහ කොරෝනා වසංගතයෙන් රට බේරා ගැනීම සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයා මූලිකත්වය ගෙන ක්‍රියා කර තිබෙනවා. ජනාධිපතිවරයා රට සෞභාග්‍ය කරා ගෙන යතැයි යන බලාපොරොත්තුව අප කා තුළත් පවතිනවා.

රට පාලනය කිරීමට නම් උගතුන් වියතුන් මෙන්ම දේශප්‍රේමීන් ද මෙරට සිටිය යුතුයි. උගතුන් වියතුන් සිටියදී රට දෙකඩ කිරීමට වැඩ කරනවානම් ඔවුන්ගෙන් ඇති පලක් නැහැ.

වර්තමාන පාර්ලිමේන්තුවට උගතුන් වියතුන් මෙන්ම දේශප්‍රේමීන් ද අද වන විට පත් වී සිටිනවා. ඒ නිසා ඒ පත්වූ සියලු දෙනා මේ රට ගොඩනැඟීමට ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබා දෙතැයි අප විශ්වාස කරනවා.

ජනතා අපේක්ෂා මල්ඵල ගැන්වීම, පරිසර සුරක්ෂිතතාව, වනාන්තර කපා දැමීමෙන් වැළකීම වැනි දේ පිළිබඳ ව අවධානය යොමු කර තමන්ට ලැබුණු පදවිය ගෞරවයක් වශයෙන් සලකා ඒ වෙනුවෙන් කටයුතු කිරීම සිදු කළ යුතුව තිබෙනවා.

රටේ සම්පත් විනිවිද දැක්මකින් යුතුව රටේ යහපත වෙනුවෙන් යොමු කළ යුතුයි. අමාත්‍යංශවල විෂයපථය දෙස බලන විට දේශීයත්වයට මුල්තැන ලබාදී ඇති බව පේනවා.

පොල්, කිතුල් ,ගම්මිරිස් වැනි විෂය පථයන් කෙරෙහි  අවධානය යොමුකර ඇති බව පේනවා.

එක්දහස් නවසිය පනස් ගණන්වල හැට ගණන් වල මෙරට පැවැති කීර්තිමත් දේශපාලනය යළි මෙරට ඇති කළ යුතුයි. එහි වගකීම මේ වතාවේ දිවුරුම් දුන් අයුරින් ම පැහැදිලි වෙනවා.

අමාත්‍යවරු මෙරට දිවුරුම් දීම සිදු කළේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින භූමියේ ඒ සෙවනේ සිටයි.

ඒ නිසාම ලබාදුන් දිවුරුම් දීම අර්ථවත් විය යුතුයි. රට පාලනයේ දී එය දසරාජ ධර්මයෙන් සිදුවිය යුතුයි, ලිච්ඡවී පාලනය යළි මේ රටේ ඇති වෙනවා නම් ඊට සුදුසු අවස්ථාව මෙයයි. දළදා වහන්සේ ලඟ දිවුරුම් දීම අර්ථවත් වන්නේ ඒ අයුරින් කටයුතු කිරීම තුළින්.

ලැබුණු අවස්ථාව රටේ ජනතාවගේ  අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීම සඳහා කැප කළ යුතුව ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

 

Social Sharing
නවතම