දේශබන්දුට එරෙහිව නඩු දානවා – අතිරේක නි.සොලිසිටර් ජෙනරාල්

DIG Deshabandu Tennakoon on leave for 14 days

වින්දිතයන් සහ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ නියෝග අනුව සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙ. පො. අධිකාරී ශානි අබේසේකරට ලබා දිය යුතු ආරක්ෂාව පොලිස්පතිවරයා නියෝග ලබා දී තිබිය දීත් ජ්‍යෙ. නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එය සිතා මතා පැහැර හැරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දේශබන්ධුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරනු ලබන බවට අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

ඔහු මේ බව දැනුම් දුන්නේ, 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක‍ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 21 වන වගන්තිය ප්‍රකාරව අපරාධයක වින්දිතයන් සහ සාක‍්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් ශානි අබේසේකරට ආරක්ෂා ලබා දිය යුතු බවට පොලිස්පතිට දුන් නිර්දේශ වලට අනුව කටයුතු නොකිරීමෙන් එම පනතේ 14 වන වගන්තියේ දක්වා ඇති පරිදි එකී අධිකාරියට අපහාස කිරීම අධිකරණයට අපහාස කිරීමක් සේ සලකන ලෙසද, තමන්ට හිමි ආරක්ෂාව යලි ලබා දෙන ලෙසද ඉල්ලා ශානි අබේසේකර විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම පසුගිය 05 දා විභාගයට ගැණුනු අවස්ථාවේ දී ය.

රාජපක්ෂවරුන් යළි බලයට පැමිණීමෙන් පසු දරුණු ලෙස පළිගැනීමට ලක්වූ එවකට සීඅයිඩියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර තනතුරින් පහත දමා, ස්ථාන මාරු කර, පසුව වැඩ තහනම් කර, ඉන්පසුව අත්අඩංගුවට ගෙන හිරේ දමා, කොරෝනා බෝ කර ඝාතනයට පවා සැලසුම් කරන ලද නමුත් ඔහු තවමත් විභාගවන දරුණු ගණයේ අපරාධ රැසක රජයේ සාක්කිකරුවෙකි. එබැවින් ඔහු නිතැතින්ම ජීවිත තර්ජනයට ලක්වූ අයෙකි. එසේ තිබිය දීත් ආණ්ඩුව ඔහුට දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කෙළේ ය. ඊට එරෙහිව ශානි අපරාධයක වින්දිතයන් සහ සාක‍්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට පැමිණිලි කෙළේ ය. පැමිණිල්ල විභාගයට ගත් අධිකාරිය ශානිගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලිස්පති වික්‍රමරත්නට නියෝග කෙළේ ය.

ඒ අනුව පොලිස්පති වික්‍රමරත්න, “ශානි අබේසේකර විසින් සිදුකර ඇති විමර්ශන වලට අදාළව අත්අඩංගුවට පත්වූවන් වෙතින් සහ දැනට බන්ධනාගාරගත වී සිටින අපරාධකරුවන්ගේ අනුගාමිකයන් විසින් එතුමාට හෝ පවුලේ සාමාජිකයන් හට යම් අනතුරක් සිදුකිරීමේ හැකියාව පවතින බැවින් ඔහුට ‘අන්තර් ආරක්ෂාවක් සපයන ලෙස’ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය දැනුම් දී ඇත. ඒ අනුව ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධරයන් දෙදෙනෙකු අදාළ වසමේ පොලිස් ස්ථානයෙන් හෝ බස්නාහිර පළාතේ වෙනත් සුදුසු ස්ථානයක් මගින් අනුයුක්ත කර මා දැනුවත් කිරීමට පියවර ගන්න.” යි සඳහන් නියෝගයක් බස්නාහිර භාර ජ්‍යෙ. නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත යවා තිබේ.

පොලිස්පතිගේ ඒ නියෝගය ක්‍රියාත්මක නොකළ දේශබන්දු තෙන්නකෝන් ශානි අබේසේකර හට ආරක්ෂාව ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ උපදෙස් අවශ්‍ය යැයි කියමින් අධිකාරියේත් පොලිස්පතිවරයාගේත් නියෝග ප්‍රතික්ෂේප කර ඇත.

ශානි අබේසේකර අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කෙළේ ඒ අනුව ය.

අධිකාරියේ නියෝග ක්‍රියාත්මක නොකළ නිලධාරීන් ලෙස ශානි අබේසේකර තම පෙත්සමින් නම් කර ඇත්තේ,

1. එස්. හෙට්ටිආරච්චි – ලේකම් මහජන ආරක්ෂක අමාත්‍යංශය
2. ටී.එම්.ඩබ්. දේශබන්දු තෙන්නකෝන් – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත
3. සිසිර පෙත්තතන්ත්‍රි – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොළඹ දකුණ කොට්ඨාශය
4. ඒ.ජේ.එම්.ආර්. සමරසිංහ – ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති බොරැල්ල
යන අයයි.

එහිදී දේශබන්දු තෙන්නකෝන් යනු තමන් සමග දැඩි වෛරයෙන් පසුවන නිලධාරියෙකු ලෙසද ශානි පෙත්සමේ දක්වා ඇත. ඊට හේතු වී ඇත්තේ ඇඟ කිලිපොලා යන කතාවකි. එය කෙතරම්දැයි කිවහොත් තමන්ගේ ආරක්ෂාවට යොදවන අයෙකු ලවාම දේශබන්දු තමා ඝාතනය කරවනු ඇතැයි ද ශානි කියයි. රිට් පෙත්සමේ දක්වා ඇති එය ශානිගේම වචන වලින් මෙසේය..

shani abeysekara easter attacks cid criminal investigation department sri lanka

“ඉහත නිලධාරීන් අතුරෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්. දේශබන්දු තෙන්නකෝන් ගේ අධීක්ෂණය යටතේ පවතින කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් 2020.07.31වන දින මා කුමන්ත්‍රණකාරීව, ද්වේශ සහගතව, නීති විරෝධීව, ‍කිසිඳු සාක්ෂියක්, කරුණක් හෝ සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ සිව්වන වන වගඋත්තරකරු වන්නේ ද ඉහත නම් සඳහන් දේශබන්දු තෙන්නකෝන් ය.

මෙම නිලධාරියා මා සමග රාජකාරී මට්ටමින් දැඩි වෛරයෙන් පසුවන නිලධාරියකු වන අතර, ඔහු විසින් මෙහෙයවනු ලබන නිලධාරී කණ්ඩායමක් සේවය කරනු ලබන කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෑතකදී සිදුකරන ලද බිහිසුණු මනුෂ්‍ය ඝාතන කිහිපයක් පිළිබඳව තොරතුරු මේ වන විට අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් ඇති හොඳම උදාහරණය වන්නේ, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදුකරනු ලබන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 1536/2020 දරන නඩුව සම්බන්ධයෙන් මා, ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව සිදුකරනු ලැබූ පරීක්ෂණයයි. එම පරීක්ෂනය දේශබන්දු තෙන්නකෝන් ගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත යන අයවළුන්ගේ මූලිකත්වයෙන් සිදුකරගෙන යනු ලබයි.

මෙම පරීක්ෂණයේ දී ප්‍රබල සාක්ෂිකරුවකු වශයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය හඳුනාගෙන සිටින පොලිස් පරීක්ෂක ඉරෝෂ් චමින්ද විල්වලආරච්චි නැමති අය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් හා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් පිලිවෙලින් 2014 වර්ෂයේදී හා 2020 වර්ෂයේදී ගරු මහේස්ත්‍රාත්තුමන්ලා වෙත කරන ලද රහස්‍ය ප්‍රකශ දේශපාලන බලපෑම් පෙරදැරි කරගෙන සම්පූර්ණ සාවද්‍ය ද්වේශ සහගත පදනම් විරහිත ඒවා බවට ඉහත අභියාචනාධිකරණ නඩු තීන්දුව මගින් ප්‍රකාශිත කරුණු අනුව ප්‍රබල ලෙස පෙනී යන අතර, ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් (SIU) මූලික විමර්ශන දෙකක් පොලිස් පරීක්ෂක විල්වලආරච්චිට එරෙහිව පවත්වාගෙන ගොස් ඇත. මෙ වන විට දේශබන්දු තෙන්නකෝන්ගේ මැදිහත්වීම හා බලපෑම මත මෙම විමර්ශන දෙකම වසා දමා ඇති බව මා ඉතා වගකීමෙන් යුතුව ප්‍රකශ කර සිටිමි.

මා ඇතුළු නිලධාරීන්ට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කොට අධිකරණය පවා නොමග යවා මා ඇතුළු නිලධාරීන්ට ජීවිතාන්ත සිරදඬුවමක් හෝ මරණීය දණ්ඩනයෙන් දඬුවම් කළ හැකි වරදකට චේතනාන්විතව පටලැවීම සඳහා කුමන්ත්‍රණකාරීව සම්පූර්ණ අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට කටයුතු කිරීමෙන් හා එසේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ පුද්ගලයින්ට එරෙහිව පවත්වාගෙන යනු ලබන පරීක්ෂණ නතර කිරීමට මැදිහත් වීමෙන් දේශබන්දු තෙන්නකෝන් කෙතරම් බරපතල අපරාධ මෙහෙයවන්නෙක් හා සිදුකරන්නෙක්ද යන්න තහවුරු කරගැනීමට තවදුරටත් විස්තර අනවශ්‍ය බව මා කියා සිටිමි.

ඔහු මා කෙරෙහි දක්වන වෛරය හා පළිගැනීමේ චේතනාව ඉතා ප්‍රකටව අනාවරණය වන අවස්ථා ගණනාවක් පසුගිය කාලවකවානුවේදී හෙළිදරව් වී ඇති අතර පොලිස්පතිතුමා විසින් මා වෙත ආරක්ෂාව සලසන ලෙසට කර ඇති නියෝගයට පවා පටහැනිව කටයුතු කිරීම තුලින් ඔහු මා හෝ මාගේ පවුලේ සාමාජිකයන් කිසිවෙකු ඝාතනය කිරීමේ පුර්ව සැලසුමක් ඇතිව කටයුතු කරන බව ඔහුගේ පුර්ව ක්‍රියාකාරකම් පිළිබඳව හා ඔහුට ඇති දේශපාලන සබඳකම් හා ලබැඳියාවන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඉතා ප්‍රබල ලෙස පෙනී යන කරුණකි. මෙම නිලධාරියාගේ මැදිහත්වීම පවත්නා තාක් කල් මා හට නිර්දේශිත ආරක්ෂාව සැපයීමට ඔහු කටයුතු නොකරන අතර, යම් හෙයකින් ඔහු විසින් මාගේ ආරක්ෂාව සඳහා යොදවනු ලබන නිලධාරීන් ලවා හෝ මා ඝාතනය කිරීමට කටයුතු කරනු ඇතැයි ඉහත සඳහන් කරන ලද එම නිලධාරියාගේ පුර්ව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මා තරයේ විශ්වාස කරමි”

කෙසේ වෙතත් වින්දිතයන් සහ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන බව නීතිපතිවරයා වෙනුවෙන් අද අභියාචනාධිකරණයේ පෙනී සිටි අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය දැනුම් දුන්නේ ය.

ඔහු වැඩි දුරටත් අධිකරණයේ ප්‍රකාශ කර සිටියේ ශානි අබේසේකර ගේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබාදීමටත් ඊට අමතරව ඔහුගේ නිවසේ ආරක්ෂාව සඳහා එක් පොලිස් නිලධාරියෙකු ලබාදීමටත් කටයුතු කරන බවයි.

එසේම තමන් පදිංචි ස්ථානය වෙනස් කිරීමට ශානි අබේසේකර කැමැත්ත දක්වන්නේ නම් ඒ සඳහා වෙනත් ස්ථානයක් ලබාදීමටත් සූදානම් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

ශානි අබේසේකර වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේ ය.

මැයි 9 වැනි දා ගෝල්ෆේස් සිද්ධියේ දී අපරාධයක් වළක්වා ගැනීම පැහැර හැරීම සහ ඊට සහාය ලබා දීමේ චෝදනාව අනුව දේශබන්දු තෙන්කෝන් වහාම වැඩ තහනම් කරන්න හෝ වහාම ස්ථාන මාරු කරන්නැයි කියා දෙවරක්ම දුන් නීතිපති නියෝග ද දේශපාලන බලාධිකාරයේ හයියෙන් තවමත් බල්ලාට දමා තිබේ. ඒ අනුව නීතිපතිවරයාට සිදුව ඇත්තේ දේශබන්දුට එරෙහිව අධිකරණයට යෑම පමණක්ම ය.

උපුටාගැනීම – ලංකාඊනිව්ස්

 

Social Sharing
නවතම පුවත්