මම බඩගින්නේ ඉන්න මගේ දරුවන්ට මත්පෙති දීලා නින්දට යවනවා’!!!

ඇෆ්ගනිස්ථානුවෝ කුසගින්නෙන් පෙළෙන සිය දරුවන් සන්සුන් කිරීම සඳහා මත්වන ඖෂධ ලබා දෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවිතය රැක ගැනීම සඳහා තම දියණියන් සහ තම ශරීර අවයව විකුණා ඇත. තාලිබාන් සංවිධානය එරට පාලනය සියතට ගැනීමෙන්, විදේශ අරමුදල් නවතාලීමෙන් පසු උදාවෙන දෙවන ශීත සෘතුවේ දී මිලියන ගණනක් ජනයා සිටින්නේ සාගතයක් පෙනෙන මානයේ ය.

“අපේ ළමයි දිගටම අඬනවා, එයාලා නිදාගන්නේ නැහැ. අපිට කෑමක් නැහැ,” අබ්දුල් වහාබ් පවසයි.

“ඉතින් අපි ෆාමසියට ගිහින් නිදිපෙති අරන් ඇවිත් දරුවොන්ට දෙනවා, එතකොට ඒගොල්ලෝ මත්වෙන නිසා.”

ඔහු ජීවත්වන්නේ එරට තෙවන විශාලතම නගරය වන හෙරාට් නගරයෙන් පිටත පිහිටි ජනාවාසයක ය. එම ජනාවාසය දශක ගණනාවක් තිස්සේ යුද්ධයෙන් හා ස්වභාවික විපත්වලින් පීඩා විඳි, අවතැන්වූ ජනතාවගෙන් පිරුණු කුඩා මැටි නිවාස දහස් ගණනකින් යුතු ය.

අබ්දුල් ද සිටියේ අප වටා එක්රොක් වූ දුසිමකට ආසන්න මිනිසුන් පිරිසක් අතර ය. කෙතරම් පිරිසක් මෙලෙස දරුවන්ට ඖෂධ දෙන්නේදැ යි අපි ඔවුන්ගෙන් ඇසුවෙමු.

“හුඟදෙනෙක්, අපි හැමෝම,” ඔවුහු තෙපලූහ.

ගුලාම් හස්රත් තම ඇඳුම අතපත ගා, සාක්කුවේ තිබූ පෙති කිහිපයක් ඇද පෙන්වීය. ඒවා සාමාන්‍යයෙන් කාංසා රෝග සඳහා ප්‍රතිකාර කිරීමට නියම කරනු ලබන ඇල්ප්‍රසෝලම් (alprazolam) නමැති සන්සුන්කාරක ඖෂධ වේ.

තාලිබාන් යටතේ දරු ප්‍රසූතිය: “මාව අරගෙන ගියේ බූරුවගේ පිටේ”
තාලිබාන් නීති: ගණුදෙනුකරුවන්ගේ රැවුළ කැපීම එරට බාබර්වරුන්ට තහනම්
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඇල්ප්‍රසෝලම් පෙති පහක මිල දැන් පාන් කැබැල්ලක මිලට සමාන ය

ගුලාම්ට දරුවන් සයදෙනෙකු සිටින අතර බාලයා වසරක් වයසැති ය. “මම ඒවා එයාට පවා දෙනවා,” ඔහු පැවසීය.

තවත් සමහරු තම දරුවන්ට දෙන එසිටලෝප්‍රෑම් (escitalopram) සහ සර්ට්‍රලීන් (sertraline) පෙති අපට පෙන්වූහ. එම ඖෂධ සාමාන්‍යයෙන් විෂාදයට සහ කාංසාවට ප්‍රතිකාර කිරීම සඳහා නිර්දේශ කරනු ලබන ඒවා ය.

ප්‍රමාණවත් පෝෂණයක් නොලැබෙන කුඩා දරුවන්ට මෙවැනි ඖෂධ ලබාදීමෙන් අක්මාවට හානිවන අතර, නිරන්තර තෙහෙට්ටුව, නින්ද සහ චර්යාත්මක ආබාධ වැනි තවත් ගැටළු රාශියක් ඇතිවිය හැකිබව වෛද්‍යවරු පවසති.

එරට ප්‍රාදේශීය ෆාමසියකින් ඇෆ්ගනි 10කට (රු. 35කට පමණ/ඇෆ්ගනි මුදලින් පාන් පෙත්තක් මිලට ගැනීමට ප්‍රමාණවත් ය) මින් ඖෂධ පෙති පහක් මිල දී ගත හැකි බව අපට පෙනී ගියේ ය.

අපට හමුවූ බොහෝ පවුල් සෑම දිනෙකම පාන් කෑලි කිහිපයක් පමණක් බෙදාගෙන ආහාරයට ගනියි.

එක් කාන්තාවක් අපට පැවසුවේ ඔවුන් උදෑසන වියළි පාන් අනුභව කළබවත්, රාත්‍රියේ දී ඒවා තෙත් කිරීමට වතුරේ ගිල්වන බවත්ය.

ඇෆ්ගනිස්ථානයේ මානුෂීය “ව්‍යසනයක්” ක්‍රමයෙන් බිහි වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

හෙරාට් නගරයෙන් පිටත ප්‍රදේශයේ පිරිමින්ගෙන් බහුතරයක් දෛනික කුලී කම්කරුවන් ලෙස සේවය කරයි. ඔවුහු වසර ගණනාවක් තිස්සේ දුෂ්කර ජීවිත ගතකරති.

පසුගිය අගෝස්තු මාසයේ දී තාලිබාන් සංවිධානය ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැතිව බලයට පත්වූ අවස්ථාවේ දී ඇෆ්ගනිස්ථානයට ගලා එන විදේශීය අරමුදල් නැවතුණි. ඉන් ඇතිවූ ආර්ථික කඩාවැටීම නිසා දෛනික වැටුප් ලබන්නන්ට බොහෝ දිනවල වැඩ නොමැතිව කල් ගෙවන්නට සිදුවී තිබේ.

ඔවුන් වැඩක් ලැබෙන දුර්ලභ දිනක දී දළ වශයෙන් ඇෆ්ගනි 100ක් (රු. 400) පමණ උපයයි.

අප ගිය සෑම තැනක දීම දකින්නට ලැබුණේ තම පවුල් සාගින්නෙන් ගලවා ගැනීමට ආන්තික පියවර ගැනීමට බල කෙරුණු ජනතාව යි.

අම්මාර් (ඔහුගේ සැබෑ නම නොවේ), තෙමසකට පෙර සිය වකුගඩුව ඉවත්කිරීමට ශල්‍යකර්මයක් කළ බව අඟල් නවයක් පමණ දිගු මැහුම් දැමූ අලුත් කැළලක් පෙන්වමින් පැවසීය.

තම දිවියේ හොඳම සමය ගත කරන මේ විසි හැවිරිදි යෞවනයාගේ ආරක්ෂාව පිණිස අපි ඔහුගේ අනන්‍යතාව හෙළි නොකරන්නෙමු.

“වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ප්‍රාදේශීය රෝහලක වකුගඩුවක් විකුණන්න පුළුවන් කියලා මම අහලා තිබුණා. මම එතනට ගිහින් කිව්වා මට එහෙම කරන්න ඕන කියලා. සති කිහිපයකට පස්සේ මට රෝහලට එන්න කියලා කෝල් එකක් ආවා,” ඔහු පැවසීය.

“එයාලා පරීක්ෂණ කිහිපයක් කළා. පස්සේ මට සිහිය නැති කරන දෙයක් එන්නත් කළා. මම බයවෙලා හිටියේ, නමුත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ.”

ඒ සඳහා අම්මාර්ට ඇෆ්ගනි 270,000ක් (රු. 1,134,500) පමණ ගෙවන ලද අතර, ඔහු ඉන් වැඩි කොටස සිය පවුලට ආහාර මිලදී ගැනීම සඳහා ගත් ණය මුදල් පියවීමට යෙදවීය.

“අපි එක රැයක් කෑවොත් ඊළඟ දවසේ කන්න නැහැ. මගේ වකුගඩුව විකුණුවාට පස්සේ මට දැනෙන්නේ මම මිනිහෙක්ගෙන් බාගයක් විතර යි කියල. මගේ බලාපොරොත්තු සුන්වෙලා. මෙහෙම ගියොත් මම මැරිලා යාවි කියලා මට හිතෙනවා,” ඔහු පැවසීය.

අවයව විකිණීම ඇෆ්ගනිස්ථානයට නුපුරුදු දෙයක් නොවේ. තාලිබාන් සංවිධානය රට අත්පත්කර ගැනීමට පෙර සිටම එය සිදුවිය. නමුත් දැන් අවයවයක් විකිණුවාට පසුව වුව ද මිනිසුන්ට ජීවත්වීමට මාර්ගයක් සොයාගත නොහැකි ය.

මාස හතකට පෙර තම වකුගඩුවක් විකිණූබව පැවසූ තරුණ මවක් අපට මුණගැසුණේ පාළු නිවසක සිටිය දී ය. ඔවුන්ට ද බැටළු රැළක් මිල දී ගැනීමට ගත් ණයක් පියවීමට සිදුව තිබුණි. මීට වසර කිහිපයකට පෙර පැමිණි ගංවතුරකට හසුවූ එම සතුන් මියගිය අතර, ඔවුන්ගේ ජීවන මාර්ගය ද අහිමිවිය.

වකුගඩුව සඳහා ඇයට ලැබුණු ඇෆ්ගනි 240,000 (රු. 1,008,400) ප්‍රමාණවත් මුදලක් නොවේ.

“දැන් අපට අපේ අවුරුදු දෙකේ දුව විකුණන්න කියලා බලපෑම් එල්ලවෙනවා. අපි ණයට ගත්තු අය හැමදාම අපිට හිරිහැර කරනවා. අපිට ගෙවන්න බැරි නම් දුවව දෙන්න කියනවා,” ඇය පැවසුවාය.

“අපේ තත්ත්වය ගැන මට හරිම ලැජ්ජයි. සමහර වෙලාවට මට හිතෙනවා මෙහෙම ජීවත්වෙනවට වඩා මැරෙන එක හොඳයි කියලා,” ඇගේ සැමියා පැවසීය.

තම දියණියන් විකුණන තැනැත්තන් ගැන අපිට වරින් වර අසන්නට ලැබුණේ ය.

“මම මගේ අවුරුදු පහේ දුවව ඇෆ්ගනි 100,000කට විකුණුවා,” නිසාමුදීන් පැවසීය. ඒ, ඇෆ්ගනිස්ථානයේ දී වකුගඩුවක් සඳහා ලැබෙන මුද‍ලෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයකි. ඔහු තොල හපමින්, දෙනෙත්හි කඳුළු පුරවාගෙන සිටියේ ය.

එරට ජනතාවගේ ගෞරවය කුසගින්න නිසා අතුරුදහන් වී තිබේ.

“[දරුවන් විකිණීම] ඉස්ලාමීය නීතිවලට පටහැනි බවත්, අපි අපේ දරුවොන්ගේ ජීවිත අනතුරේ දාන බවත් අපට තේරෙනවා. ඒත් වෙන කරන්න දෙයක් නැහැ,” ප්‍රජාවේ ප්‍රධානියෙකු වන අබ්දුල් ගෆාර් පැවසීය.

එක් නිවසක දී අපට සිව් හැවිරිදි නාසියා මුණගැසුණි. ඇය ඇගේ මාස 18ක් වයසැති සොයුරා වූ ෂම්ෂුල්ලා වෙත විකාරී සුරතල් මුහුණු සාදමින් සෙල්ලම් කරමින් සිටියා ය.

“අපිට කෑම ගන්න සල්ලි නැහැ, ඒ නිසා මම මගේ දුව විකුණන්න ඕන කියලා පල්ලියේ දී කිව්වා,” ඇගේ පියා හස්රතුල්ලා පැවසුවේ ය.

නාසියා විකුණා ඇත්තේ දකුණුදිග කන්දහාර් පළාතේ පවුලක පිරිමි ළමයෙකු සමග විවාහවීම සඳහා ය. වයස 14ක් වූ පසුව ඇය පිටත්කර හරිනු ලැබේ. මේ වන විට හස්රතුල්ලාට ඇය වෙනුවෙන් ගෙවීම් දෙකක් ලැබී ඇත.

“මම ඒකෙන් වැඩි හරියක් පාවිච්චි කළේ කෑම ගන්න. තව කොටසක් මගේ බාල පුතාට බෙහෙත් ගන්න. බලන්නකෝ, එයාට මන්දපෝෂණේ,”යි පැවසූ හස්රතුල්ලා, ෂම්සුල්ලාගේ පිම්බුණු උදරය අපට පෙන්වීම සඳහා ඔහුගේ කමිසය ඔසවාලීය.

මන්දපෝෂණ අනුපාත විශ්මයජනක ලෙස වැඩිවීම, දැනටමත් ඇෆ්ගනිස්ථානයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ට කුසගින්නෙන් ඇතිකර ඇති බලපෑම පිළිබඳ සාක්ෂියකි.

ජාත්‍යන්තර රාජ්‍ය නොවන වෛද්‍ය සංවිධානයක් වන ‘දේශසීමා රහිත වෛද්‍යවරු’ (MSF) පෙන්වා දෙන ආකාරයට, මන්දපෝෂණයට ප්‍රතිකාර ලැබීම සඳහා ඔවුන් වෙත පැමිණි ජාතික අනුපාතය පසුගිය වසරට සාපේක්ෂව 47%කින් වැඩි වී තිබේ.

හෙරාට්හි MSF පෝෂණ මධ්‍යස්ථානය ඝෝර් සහ බාඩ්ගිස් යන අසල්වැසි ප්‍රදේශවලට ද සේවා සපයයි. ඒවායේ ද පසුගිය වසරට වඩා 55%කින් මන්දපෝෂණ අනුපාතය ඉහළගොස් ඇත.

පසුගිය වසරේ සිට ඊට ඇතුළත් කරන දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමග ඔවුන් ඇඳන් සංඛ්‍යාව ද වැඩිකර ඇත. එහෙත් ඒවා සෑම විටම පාහේ පිරී යයි. එම දරුවන්ගෙන් බහුතරයකට රෝග කිහිපයකට ප්‍රතිකාර කිරීමට සිදුවේ.

මාස 14ක් වයසැති ඔමිඩ් නම් දරුවා මන්දපෝෂණයෙන් පෙළෙන අතර, ඔහුට හර්නියා සහ පූතිය ද ඇත. ඔහුගේ බර කිලෝග්‍රෑම් 4ක් පමණි. වෛද්‍යවරු අපට පැවසුවේ එම වයසේ දී සාමාන්‍ය දරුවෙකු අවම වශයෙන් කිලෝග්‍රෑම් 6.6ක් බරැති විය යුතු බව යි. ඔහු අධික ලෙස වමනය කිරීමට පටන්ගත් අවස්ථාවේ ඔහු රෝහලට ගෙනයාම සඳහා ඔහුගේ මව ආම්නාට මුදල් ණයට ගැනීමට සිදුවිය.

තාලිබානය කුසගින්න මැඬපැවැත්වීම සඳහා කුමක් සිදුකරන්නේ ද යන්න හෙරාට්හි තාලිබාන් ප්‍රාන්ත රජයේ ප්‍රකාශක හමීදුල්ලා මොටවාකිල්ගෙන් අපි විමසා සිටියෙමු.

“මේක ඇෆ්ගනිස්ථානයට ජාත්‍යන්තර සම්බාධක පනවපු නිසාත්, ඇෆ්ගන් වත්කම් රඳවපු නිසාත් ඇතිවුණු ප්‍රතිඵලයක්. අපේ රජය උත්සාහ කරන්නේ කීදෙනෙකුට අවශ්‍යතා තියෙනවා ද කියලා හඳුනාගන්න යි. ගොඩක් අය උදව් ගන්න හිතාගෙන බොරු කියනවා,” ඔහු පැවසීය. තත්ත්වය කෙතරම් අයහපත් ද යන්න පිළිබඳ සාක්ෂි ගොන්නක් අප දැක ඇති බව පැවසුව ද ඔහු එම ස්ථාවරයේම ඇලී සිටියේ ය.

තාලිබාන්වරුන් රැකියා උත්පාදනය කිරීමට උත්සාහ කරනබව ද ඔහු පැවසීය. “අපි යපස් පතල් සහ ගෑස් නල ව්‍යාපෘතියක් විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.”

එය ඉක්මනින් සිදුවනු ඇතැ යි සිතිය නොහැකි ය.

ජනතාව අපට පැවසුවේ, තාලිබාන් රජය සහ ජාත්‍යන්තර ප්‍රජාව තමාව අතහැර දමා ඇති බවක් දැනෙන බව ය.

කුසගින්න යනු මන්දගාමී සහ නිහඬ ඝාතකයෙකි. එහි බලපෑම සෑමවිටම ක්ෂණිකව නොපෙනේ.

ලෝකයේ අවධානයෙන් ඈත්වූ ඇෆ්ගනිස්ථානයේ අර්බුදයේ පරිමාණය කිසිදාක සත්‍ය වශයෙන්ම හෙළිදරව් නොවනු ඇත. මන්ද, කිසිවෙකුත් සංඛ්‍යාලේඛන සම්පාදනය නොකරන බැවිනි.

අතිරේක වාර්තාකරණය ඉමොජන් ඇන්ඩර්සන් සහ මලික් මුදාසිර් විසිනි

bbc

Social Sharing
නවතම විශේෂාංග