ඇගේ හීනය මම යථාර්තයක් කළා – මේනකා ජයසුන්දර –

සේරා ඕඩියෝ බුක්ස් හැමදාම අලුත් දෙයක් කරනවා. 2022 නොවැම්බර් 08 වැනිදාත් ඒ වගේ අලුත් දෙයකට මුල පිරුවා. ඒ ගැන කිව්වොත්?

සේරා ඕඩියෝ බුක්ස් කරන්නේ අලුත් දේවල් ද කියලා නම් කියන්න මම දන්නේ නැහැ. නමුත් ඔබට, සමාජයට මගහැරෙන සමහර පුංචි පුංචි කාරනා තියෙනවා. අපි ඒ මග හැරුණු දේවල් කරන්නට උත්සාහ කරනවා. එහි ප්‍රථිපල එනකොට සමහර විට එය අලුත් දෙයක් වගේ පේනවා ඇති.
2022 නොවැම්බර් 08 වැනිදාත් ඒ වගේ මෙතෙක් කල් ඔබට මගහැරුණු දෙයක් තමයි සේරා ඕඩියෝ බුක්ස් කලේ. 08 වැනිදා අපි කෙටිකතා සංග්‍රහයක් එළිදැක්වූවා ‘දුවිලි’ නමින්. විශේෂත්වය තමයි එය මුද්‍රිත, ශ්‍රවන සහ බ්රේල් කෘති වශයෙන් එළිදැක්වීම. ලංකාවේ පළමුවෙනි වතාවට තමයි මේ තෙආකාරයෙන්ම කෘතියක් එළිදැක්වෙන්නේ.

දුවිලි කෙටි කතා සංග්‍රහයේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි එහි රචිකාව දෘශ්‍යාබාධිත ලේඛිකාවක වීම. මේ කෘතිය නිකුත් වීමත් සමග ඇය ලංකාවේ කෙටිකතා සංග්‍රහයක් එළිදැක්වූ පළමුවැනි දෘශ්‍යාබාධිත ලේඛිකාව බවටත් පත් උනා. මේක ලංකාවේ ග්‍රන්ථකරණ ඉතිහාසයේ විශේෂ අවස්ථාවක්. නමුත් ඉතිහාසය ලියන්නන් විසින් කවදා හෝ මේ කාරණා මගහැර යන්න තියෙන ඉඩකඩ වැඩියි.

කොහොමද ‘දුවිලි’ කෘතිය යථාර්තයක් බවට පත් වෙන්නේ?

සේරා ඕඩියෝ බුක්ස් ආරම්භ කරාට පසුව අපිත් එක්ක එකතු වුනු පිරිසෙන් කොටසක් තමයි පොත් කියවන්නට නොහැකි, අපහසු දෘෂ්ටිආබාධිත සහ දෘෂ්ටිහීන පිරිස. ඉන්පසුව ඔවුන් සමග මට බොහොම සමීපව ඇසුරු කරන්නට අවස්ථාව ලැබුනා. ඒ අවස්ථාවන් වලදී නිරීක්ෂණය කරපු කාරණයක් තමයි ඔවුන් අතර ලේඛනයේ දක්ෂ විශාල පිරිසක් ඉන්නවාය කියන කාරණය. ඉතින් පසුගිය වසරේදී අපි ඔවුන්ට ආරාධනා කරා ඔවුන්ගේ නිර්මාණ සේරා ඕඩියෝ බුක්ස් වෙත එවන්නටය කියලා. ඒ අතරින් තෝරාගත් කවි සහ කෙටිකතා සංග්‍රහ කිහිපයක් එළිදක්වන්නට මට අවශ්‍ය වෙලා තිබුනා. ඉතින් එහි පළමු පියවර විදියට සත්‍යා නිර්මාණි විසින් රචිත කෙටිකතා දහයක් ඇතුලත් දූවිලි කෙටිකතා සංග්‍රහය පසුගිය අට වැනිදා එළිදක්වන්නට අපට හැකියාව ලැබුනා.

මුලින් සැලසුම් තිබුනේ දෘශ්‍යාබාධිත ලේඛක ලේඛිකාවන් කිහිප දෙනෙකුගේ නිර්මාණ ඇතුලත් කරලා කෙටිකතා සංග්‍රහයක් එළිදක්වන්නට. නමුත් හේතු කිහිපයක් නිසා සත්‍යා නිර්මාණි විසින් රචිත කෙටිකතා දහයක් පළමු කෘතිය වශයෙන් එළිදක්වන්නට මම තීරණය කරා. සේරා ඕඩියෝ බුක්ස් ආරම්භ කිරීමෙන් පස්සේ මගේ තොරතුරු හොයාගෙන මාව සම්බන්ධ කරගත්ත පළමු වැනි දෘශ්යාබාධිත කෙනා තමයි සත්‍යා. ඒ වගේම පසුගිය කාලයේ ඇයගේ නිර්මාණ හැකියාවන් ගැනත් මට යම් අවබෝධයක් ලැබුනා. කවුරුන් හෝ ඇයගේ ලේඛන හැකියාව අගය කරමින් තව තවත් නිර්මාණ කරන්නට දිරිදීම කළ යුතුම කාරණයක්ව තිබුනා. ඉතින් මම එය කළා. සහ මේ කෙටිකතා සංග්‍රහයක් එළිදැක්වීම ඇගේ හීනයක් වෙලා තිබුනා. ඉතින් මම ඇයගේ සිහිනය යථාර්තයක් බවට පත්කරගන්නට මගේ පාර්ශවයෙන් දෙන්නට පුළුවන් සහයෝගය දුන්නා. මම සිහින දකින්නන්ට, ඒ සිහින හඹායන්නන්ට කැමතියි.

දූවිලි කෘතිය එළිදැක්වීමේදී සාමාන්‍යයෙන් පොත් එළිදක්වීම් වලදී අපි නිතර නොදකින අපි පොත් පිළිනොගන්වන විශේෂ පිරිසකටත් පොත පිරිනමන්නට ඔබ කටයුතු කළා. ඒ ගැන යමක් කිව්වොත්?

ඔව්, දූවිලි කෘතිය යතාර්ථයක් බවට පත්කරගන්නට මට සහාය වුණ පිරිසටත් පොත පිළිගැන්වුනා. පොතේ පිටු සැකසූ සේනාත් ඉන්ද්‍රජිත්, සෝඳුපත් බැලූ ජයසිරි ජයසේකර, ශ්‍රවන කෘතියේ හඬ දායකත්වය ලබා දුන් දේශානි වීරසිංහ සහ තිලිණ සමරසූරිය, බ්රේල් කෘතියේ මුද්‍රනය සහ ශ්‍රවන කෘතියේ හඬ සංස්කරණය කල කසුන් නයනජිත් ඒ අතර හිටියා. පොතක පිටු සැකසුම් ශිල්පියා, කවර නිර්මාණ ශිල්පියා වගේ අය මගහැරගෙන අපිට මේ ගමන යන්න බැහැ. ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් ඒ ගෞරවය ඔවුන්ට දිය යුතුයි. පොත පිරිනැමීමෙන් පස්සේ සේනාත් ඉන්ද්‍රජිත් මහත්මයා මට කතාකරලා කියපු දෙයක් තමයි ඔහුගේ වෘත්තීය ජිවිතයේ පළමු වෙනි වතාවට තමයි ඔහුට පිටු සැකසුම් ශිල්පියා විදියට පොතක් පිලිගැන්වුනේ කියලා. එකිනෙකාට කෘතඥ නොවී අපට මේ ගමන යන්නට බැහැ. එහෙම යන එක යුතු නැහැ.

දුවිලි කෘතියේ අඩංගු කෙටිකතා ගැන ඔබේ අදහස කුමක්ද?

මම කළේ සත්‍යාට දිරි දීම, ඇගේ හීනයක් හැබෑ කරගන්නට සහාය වීම සහ ඇයගේ නිර්මාණ ඔබට කියවන්නට සහ අහන්නට අවස්ථාව ලබාදීම. දුවිලි ගැන අවංක අදහස් ලබාදීම එහි පාඨකයා සහ ශ්‍රාවකයා විදියට ඔබේ වගකීමක්. ඒ අවංක අදහස් සත්‍යා නිර්මාණිට අගේ ඉදිරි නිර්මාණ දිවිය සාර්ථක කරගන්නට අත්වැලක් සපයාවි.

සත්‍යා නිර්මාණි ලේඛිකාව ගැන ඔබේ අදහස්?

ඇය දිගු ගමනක් යා හැකි ලේඛිකාවක් ය කියන ලක්ෂණ පෙන්නුම් කරන නිසාම තමයි ඇයගේ කෙටිකතා දහයක් පළමුවෙන්ම එළි දක්වන්නට තෝරා ගන්නේ. මම දැඩිව විශ්වාස කරන කාරණයක් තමයි හොඳ ලේඛකයෙක් ලියන්නට ඕනේ තමන්ට ලියන්නට තිබෙන දේ මිසක් අනෙක් අය කියවන්නට කැමති දේම නෙවෙයි කියන දේ. හොඳ ලේඛකයෙක් ගැලරිය පිනවන්නට ලියන්නෙකු නොවිය යුතුයි. අවාසනාවට වර්තමානයේ අපි දකින්නේ බහුතරයක් ඒ වගේ ලේඛක ලේඛිකාවන්. සත්‍යා එසේ නොවේවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඇස් පෙනෙන අපට වඩා බොහෝ දේවල් ඇය මනැසින් දකිනවා ඇති. ඉදිරි නිර්මාණ වලදී නොබියව තමන්ට හැඟෙන දැනෙන ඒ දේවල් ලිවීමේ වගකීම සත්යා නිර්මාණි සතුයි.

‘දුවිලි’ එළිදැක්වීමෙන් පස්සේ මම සත්‍යාට කියපු දෙයක් තියෙනවා. ඒ තමයි, අනාගතයේ දවසක ‘සත්‍යාගේ නරකම කෙටිකතා සංග්‍රහය එළිදක්වලා තියෙන්නේ මම’ කියලා මට කියන්නට පුළුවන් වෙන තලයකට ඇයගේ ඉදිරි නිර්මාණ රැගෙන යන්න කියන එක.

මේක තමන්ගේ කුළුඳුල් කෘතිය එළිදක්වන හැමෝටම පොදු කතාවක්.

කෙටිකතා, නවකතා, කාව්‍ය සංග්‍රහයක් හෝ වේවා තමන්ගේ පළමුවෙනි කෘතියෙන්ම තමා ගැන තමාගේ නිර්මාණ ගැන අධිතක්සේරුවකට යන්නෙකුට යා හැකි දුර බොහොම කෙටියි. තමාගේ පළමු කෘතිය ආරම්භයක් පමණක් බවත් ඉන්පසු බිහිකරන නිර්මාණ ඊට වඩා ගුණාත්මක විය යුතු බවත් වටහාගන්නා සහ ඒ සඳහා වෙහෙසෙන නිර්මාණකරුවෙකුට බොහෝ දිගු ගමනක් යා හැකියි.

ඉදිරියේදීත් සේරා ඕඩියෝ බුක්ස් ප්‍රකාශන පාඨකයා අතට ලැබේවිද?

මම, සේරා ඕඩියෝ බුක්ස් කියන්නේ පොත් ප්‍රකාශකයෙක් නෙවෙයි. සමහර විට දුවිලි වගේ තව විශේෂ කෘති කිහිපයක් පමණක් අනාගතයේදී සේරා ඕඩියෝ බුක්ස් ප්‍රකාශන විදියට ඔබ අතට පත්වේවි. ඒ සියල්ල අනාගතයට බාර දේවල්.

 

Social Sharing
අවකාශය නවතම