වික්ටර් හියුගෝ ගේ නරක පුරුදු …..

අනුන්ගේ පෞද්ගලික ජීවිත ගැන සොයන එක හොඳ පුරුද්දක් නොවෙයි. එහෙත් වික්ටර් හියුගෝ වැනි මහා ලේඛකයෙකු ගේ පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ රහසක් බවට පත් වුණේ ඔහු ජීවත් වෙලා සිටි අවදියේදීමයි. ඇතැම් කරුණු අති පෞද්ගලිකයි. උදාහරණයක් විදිහට 1903 වසරේ Victor Hugo Intime යනුවෙන් පොතක් ලියන Juana Richard-Lesclide නම් ලේඛිකාව හියුගෝ තම බිරිඳ Adèle Foucher සමග විවාහ වෙලා මධු සමය රාත්‍රිය ගත කරපු ආකාරය පවා ප්‍රසිද්ධියේ සදහන් කර තිබෙනවා. එමෙන්ම කාන්තාවන්ට දැඩි ඇල්මක් දැක්වූ හියුගෝ වයස අවුරුදු 81 දීත් තරුණ ලේඛිකාවක් වූ Judith Gautier සමග කායික සබදතා පැවැත්වූ බව කියවෙනවා.

වික්ටර් හියුගෝ ගණිකා ඇසුර ප්‍රිය කළ අයෙක්. එමෙන්ම මේ වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට විශාල ගෞරවයක් දැක්වූ අයෙක්. කායික අවශ්‍යතාවයන් සපුරා ගන්නා අතරම , මේ වෘත්තියේ අයිතීන් ආරක්ෂා කර දීම සදහා හඬ නැගූ හියුගෝ තමන්ගේ වැදගත්ම කෘතිය වන Les Misérable හි Fantine ගේ චරිතය ගොඩ නැගුවේ ගණිකාවන් ඇසුරින් ලත් අත්දැකීම් තුළින් . නොබෙල් සාහිත්‍ය සම්මානය හිමි කරගත් Mario Vargas Llosa විසින් ලියන ලද The Sacred Heart of Victor Hugo නම් ලිපියේ සදහන් වන්නේ හියුගෝගේ අවමංගල්‍යය දිනයේ පැරිසියේ සියළුම ගණිකා නිවෙස් වසා දැමූ බවයි.

හියුගෝ සහ Adèle Foucher ගේ විවාහය සිදුවුණේ 1822 වසරේ. එය සාමාන්‍ය සදාචාරාත්මක රීති වලින් බැඳුනු විවාහයක් නොවෙයි. බිරිඳගේ අභාවය දක්වා වසර 46 ක්ම පවුල් කෑ මේ දෙන්නාගේ විවාහය Open Marriage වශයෙන් හඳුන්වනු ලැබුවා . එයින් අදහස් වන්නේ හියුගෝ මෙන්ම බිරිඳ අදෙල් එකිනෙකාගේ කැමැත්ත පරිදි අනියම් සබදතාවයන් පවත්වාගෙන ගිය බවයි.

කොතරම් ගැහැනුන් ඇසුරු කළත් හියුගෝ ගේ සාහිත්‍යය දිවිය බෙදා ගත් දෙවැනි ගැහැනිය වුණේ වේදිකා නිළියක් වුණු Juliette Drouet . වසර 50 පුරාම පැවති මේ අනියම් ආදර කතාවේ හැම මොහොතකදීම , ඒ කියන්නේ හියුගෝ මුහුණ දුන් සෑම අපහසු අවස්ථාවකදීම Juliette Drouet ඔහුට අත දුන් බව කිය වෙනවා.

නීත්‍යානුකූල බිරිඳක් සිටියත් , අනියම් දෙවැනි ගැහැනියක් සිටියත් සෑහීමකට පත් නොවුණු හියුගෝ තුන්වැනි බිරිඳක් ද සොයා ගත්තා. ඒ තමයි ඔහුගේ මිතුරෙකු මෙන් ඒ දිනවල කැපී පෙනෙන සිත්තරෙකු වුණු Pierre Auguste Briard ගේ බිරිඳ Léonie Briard .

19 වන සියවසේ මේ කාලය , එනම් 1830-1850 වකවානුවේ විවාහක පිරිමින් ගැහැනුන් – අනියම් සබදතා පැවැත්වීම (Adultery) සිර දඩුවම් ලැබිය හැකි වරදක් බව අමතක කළ යුතු නැහැ . නීතිය එසේ වුණත් පිරිමින් රජ කළ ඒ සමාජයේ මෙවැනි අවස්ථාවක වැඩියෙන්ම දඩුවම් ලැබුවේ ගැහැනු . පිරිමියාට හැම වෙලාවෙම පොඩි ගැලවීමක් තිබුණා .

පැරිස් නගරයේ ( අද දවසේ නම් 01 වන ප්‍රදේශයේ ) වොන්දොම් චතුරශ්‍රයට තරමක් සමීපයේ Saint Roch නමැති දේවස්ථානය පිහිටා තිබෙනවා. හරියටම 1845 වසරේ ජූලි 04 වැනිදා සවස් යාමයේ මේ දේවස්ථානයට ඇතුල් වුණු වික්ටර් හියුගෝ ගේ එකම බලාපොරොත්තුව වුණේ තෙවැනි ගැහැනිය ලියෝනි (Léonie Briard) හමුවීම. දේවස්ථානයේ දී මුණ ගැහිලා මොහොතක් කතා කරමින් සිටින මේ දෙන්නා අසළම ඇති Passage Saint Roch කියන පාරේ අංක 04 හි පිහිටා තිබෙන වැඩි ප්‍රසිද්ධියක් හෝ වැඩි අවධානයක් නොලබන හෝටලයකට ඇතුළු වෙනවා. දෙන්නාගේ අදහස වුණේ එදා රාත්‍රිය එහි ගත කිරීම. ඒත් අද වගේම තමයි එදත් තමන්ගේ ප්‍රශ්න පැත්තක දාලා අනුන්ගේ දේවල් හොයන අය හිටපු නිසා හියුගෝ තවත් ගැහැනියක් සමග හෝටලයට ඇතුල් වෙනවා දකින අයෙක් පොලිසියට ඔත්තුවක් දෙනවා. හැබැයි පොලිසිය හෝටලයට කඩා වදින්නේ පහුවනිදා උදේ පාන්දර.

පොලිසිය දෙන්නවම අත් අඩංගුවට ගන්නවා. පොලිස් ස්ථානයට ගෙන ගියාට පස්සේ අදාළ බලධාරියා වික්ටර් හියුගෝ ව නිදහස් කරන්නේ ඔහු ප්‍රකට පුද්ගලයෙක් නිසා නොවෙයි. හුදෙක්ම පිරිමියෙක් නිසා. විවාහක පිරිමියෙකු සමග අනියම් සබදතාවයක් පැවැත්වීමට වරදකාරිය වුණු 24 හැවිරිදි ලියෝනි මාස දෙකක කාලයකට Saint Lazare හිර ගෙදරට නියම වෙනවා.

කොහොම වුණත් ඒ කාලයේ තිබුණු නීතිය නම් අති සුවිශේෂ එකක් කියලා කියන්න පුළුවන්. තමන්ගේ සැමියාත් සමග වෙනත් කාන්තාවක් සම්බන්ධයක් පවත්වා නීතියට හසු වුනෝතින්, නියමිත සිර දඩුවමින් පසුව ඒ දෙවැනි ගැහැනියට දිය යුතු තවත් දඩුවමක් ඇත්නම් එය නියම කිරීමේ අයිතිය බිරිඳට පැවරෙන අයුරින් තමයි ඒ දවස් වල නීතිය හදලා තිබුණේ . ඒ අනුව ලියෝනි ගේ මාස දෙකක සිර දඩුවම නිම වුණාම හියුගෝ ගේ විවාහක බිරිඳ අදෙල් තීරණය කරනවා ඇයව මාස කීපයක ට පුනරුත්තාපන කඳවුරකට යවන්න. මේ අනුව ලියෝනි තවත් මාස පහක කාලයක් පුනරුත්තාපන කඳවුරක කාලය ගත කරනවා. කොහොම වුණත් නිදහස ලබා පැමිණි වහාම ඇය යළිත් හියුගෝ සමග එකතු වෙනවා. වසර හයක කාලයක් පුරාම පැවතුණු මේ අනියම් ප්‍රේමය ට බාධා පැමිණියේ හියුගෝ රට හැර යාම නිසා බවයි කියවෙන්න.

වසර 177 කට පෙර දවසක හියුගෝ තම තුන්වැනි ගැහැනිය මුණ ගැසුණු Saint Roch දේවස්ථානය අදත් එහි තියනවා. හෝටලය පිහිටා තිබුණු Passage Saint Roch පාරත් තියනවා. එහෙත් එහි අංක 04 දරන තැන හෝටලයක් නැහැ . එහි තියෙන්නේ “උස්බෙකිස්තාන් එයාර් ලයින්” ආයතනයේ කාර්යාලයක්.

අද උදෑසන රැකියාවේ කටයුත්තක් වෙනුවෙන් Saint Roch දේවස්ථානය අසළින් ගමන් කරද්දී මේ සිද්ධිය මට මතක් වුණු නිසා මේ සටහන ලියන්න හිතුනා

manjula senaratne
15/11/2022
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම