රට වට්ටන පුද්ගලවාදී දේශපාලනය

 

පසුගිය ඔක්තෝබර් 21 වැනිදා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් කවුදැයි යන ප්‍රශ්නය සමාජයේ බොහෝ දෙනා අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ.

ඒ එම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන් මැතිවරණවලට තරග කිරීම හා පාර්ලිමේනතු මන්ත්‍රී ධුරයක් දැරීම තහනම් කෙරෙන හෙයිනි.

ඇත්ත වශයෙන් ද්විත්ව පුරවැසියන් පිළිබඳ ප්‍රශ්නය  21 වැනි සංශෝධනයේ හරයාත්මක කරුණ නොවේ. එය ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම සඳහා වූ සංශෝධනයකි. ද්විත්ව පුරවැසියන් පිළිබඳ ප්‍රශ්නය එහි ඇති අමතර කරුණකි. ජනාධිපතිවරයාගේ බලතල සීමා කරනු ලැබීමෙන්  පසු ව්‍යවස්ථා සභාව පත් කිරීම, අලුත් කොමිෂන් සභා පත් කිරීම, ජනාධිපතිවරයාට ඇමැති ධුර දැරීමට ඇති හැකියාව ආදී බොහෝ කරුණු සාකච්ඡාවට ලක්විය යුතු වුවත් පුවත් මවන කාරණයක් බවට පත්වී ඇත්තේ ද්විත්ව පුරවැසියන් පිළිබඳ කාරණයයි. එය අනවශ්‍ය කාරණයකැයි ඉන් අදහස් නොවේ.

වත්මන් පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් දස දෙනකු සිටින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කොට තිබිණි. ඇතැම් දෙමළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද  කට කතා පැතිර යයි. සමඟි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්වී ආණ්ඩුවට එක් වී සිටින ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් ද  එවැනිම අදහස් පළවෙමින් තිබේ.

ප්‍රායෝගිකව සලකා බලන කල වත්මන් පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් සිටිය හැකිද යන ප්‍රශ්නය මතුවේ. මන්දයත් මෙම පාර්ලිමේන්තුව තෝරා පත් කෙරුණු 2020 අගෝස්තු මැතිවරණය පැවැත්වුණේ 19 වැනි සංශෝධනය ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් යටතේය. එම සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ නොහැකිය. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ දොර විවෘත කළ 20 වැනි සංශෝධනය සම්මත වූයේ ඉන්පසු 2020 ඔක්තෝබර් 22වැනිදාය.

ඒ අනුව වත්මන් පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් සිටිය නොහැකිය. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරග නොකළ බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසියකු වුවද ඔහු 20 වැනි සංශෝධනයෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණ ඉකුත් ජුනි 9 වැනිදා මහජන උද්ඝෝෂණ හමුවේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් විය. එම මැතිවරණයේ දී තේරී පත් නොවී දැන් පාර්ලිමේන්තුවේ සිටින එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා 2020 මැතිවරණයට තරග කළ අයෙකි. ඔහුද අනෙක් මන්ත්‍රීවරුන් සියලු දෙනාම ද තරග කළේ 19 සංශෝධනයේ ප්‍රතිපාදන යටතේය.

ඔවුන් අතර ද්විත්ව පුරවැසියන් සිටී නම් ඔවුන් එක්කෝ තම ද්විත්ව පුරවැසිභාවය සඟවා ගෙන පසුගිය මැතිවරණයට නාම යෝජනා භාරදී තිබිය යුතුය. නැත්නම් 20 වැනි සංශෝධනය සම්මත වූ 2020 ඔක්තෝබර් මාසයෙන් පසු ශ්‍රී ලංකා පුරවැසිභාවය අත් නොහැරම විදේශයක පුරවැසිභාවය ලබා සිටිය යුතුය.

මේ සම්බන්ධයෙන් මතු කෙරෙන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් පසුගියදා ප්‍රකාශයක් කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් සිටීද? නැද්ද? යන්න සොයා බැලීම තමන්ගේ වගකීමක් නොව මැතිවරණ කොමිසමේ වගකීමකැයි පවසා තිබිණි. ඉන්පසු ප්‍රකාශයක් කළ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා එය තමන්ගේ ද වගකීමක්  නොවන බව සඳහන් කොට තිබිණි.

2019 පැවැති ජනාධිපතිවරණය හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය මතු වූ විට ජාතික මැතිවරණ කොමිසමේ හිටපු සභාපති  මහින්ද දේශප්‍රිය මහතාගේ මතය වූයේ ද මෙයයි. ඒ මහතා එදා ප්‍රකාශ කළේ නාමයෝජනා පත්‍රයේ සඳහන් කරුණුවලට පිටස්තර කිසිදු කරුණක් සම්බන්ධයෙන් තම කොමිසම අවධානය යොමු නොකරන බවයි. පුංචිහේවා මහතා මෙන්ම ඔහුද එදා ප්‍රකාශ කළේ යම් අපේක්ෂකයකුගේ පුරවැසිභාවය පිළිබඳ යමකුට ප්‍රශ්නයක් තිබේ නම් අදාළ සාක්ෂි සමඟ ඔවුන් අධිකරණය හමුවට ගොස් එම අපේක්ෂකත්වය අභියෝගයට ලක් කළ යුතු බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් සිටින්නේද යන කාරණය සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කරුණු  සලකා බලා වාර්තාවක් සකස් කොට ඇති බව පසුගිය සඳුදා ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි. ඇත්ත වශයෙන්ම එම සොයා බැලීම නිවැරැදිව කළ හැකි එකම ආයතනය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවයි. මෙම කාරණයට අදාළ ලියකියවිලි හා තොරතුරු තිබිය හැකි එකම ආයතනය ද එයයි.

සකස් කොට ඇතැයි කියනු ලබන එම වාර්තාව අනුව දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරයකු හෝ මන්ත්‍රීවරියක් ද්විත්ව පුරවැසියකු බව හෙළිවුවහොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි විය යුතුවා මෙන්ම  මැතිවරණ කොමිසමට  ව්‍යාජ තොරතුරු සපයා මන්ත්‍රීධුරයකට පත්වී ලබාගත් වැටුප්, දීමනා හා වෙනත් පහසුකම් යළි ඔහුගෙන් හෝ ඇයගෙන් අයකර ගත යුතුය. නීතිය අනුව මන්ත්‍රීධුරය නම් අහෝසි විය හැකිය. එහෙත්  ලබාගත් වැටුප් හා දීමනා යළි අයකර ගැනීමක් ගැන නම් සිතිය නොහැකිය. එවැන්නකට නීති ප්‍රතිපාදන තිබේද යන්න ද සැක සහිතය.

රටකට සදාකාලික නීති සම්පාදනය කළ නොහැකිය. අනාගතයේදී ඇති විය හැකි සියලු තත්ත්වයන් කිසිවකුටත් උපකල්පනය කළ නොහැකි හෙයිනි. නීති සම්පාදනය වන්නේත් සංශෝධනය වන්නේත් මතුවන අලුත් අලුත් තත්ත්වය අනුවය. 2015 අප්‍රේල් 28 වැනිද සම්මත කරන ලද 19 වැනි සංශෝධනය ප්‍රධාන වශයෙන්ම ඒ වනවිට ප්‍රබල ලෙස මතුව ආ තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ගෙන එනු ලැබූවකි.

2005 සිට 2015 ජනවාරි දක්වා පැවැති මහින්ද රාජපක්ෂ පාලනය බොහෝ කරුණු සම්බන්ධයෙන් ජනතාව වෙතින් දැඩි දෝෂ දර්ශනයට ලක්වූවකි. 19වැනි සංශෝධනය එම මහජන ඉල්ලීම් ඉටුකිරීම සඳහා ගෙන එනු ලැබුවකි. එම  පරමාර්ථය ඉටුවුවාද? නැද්ද? යන්න වෙනම කාරණයකි.

18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපති බලතල ලබා සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය හිතුවක්කාරී දැඩි පාලනයක් බවට  චෝදනා එල්ල වී තිබිණි. උද්ඝෝෂකයන් ඝාතනය කිරීම, සිරකරුවන් ඝාතනය කිරීම පමණක් නොව තමන්ට අවනත නොවූ අග්‍ර විනිශ්චයකාරවරිය පවා ඉවත් කිරීමට යුද්ධය ජයගත් හමුදාපතිවරයා සිරගත කොට ඔහුගේ පදක්කම් හා විශ්‍රාම වැටුප පවා අහෝසි කිරීම වැනි දෑ සම්බන්ධයෙන් ජනතාව තුළ වූයේ දැඩි අප්‍රසාදයකි.

ජනාධිපතිවරයාගේ බලතල සීමා කරන අයුරින් 2001 දී මෙන් ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට 19 වැනි සංශෝධනයෙන් පියවර ගනු ලැබුවේ ඒ අනුවය. එහෙත් එදා බොහෝ දෙනා පිළිගත් මතය වූයේ ජනාධිපති ක්‍රමයම අහෝසි කළ යුතුය යන්නයි.

එහෙත්, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඇතුල්වීම වළකාලීම  ජාතික යහපතට හේතු විය හැකි වුවත් එදා කිසිම පුද්ගලයකුගේ ද්විත්ව පුරවැසිභාවය ජාතික යහපතට  අහිතකර ආකාරයෙන් බලපෑ  බවට කිසිදු සිද්ධියක් වාර්තාවී තිබුණේ නැත. එදා ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට පිවිසීම වළකාලීමේ ප්‍රතිපාදන 19 වැනි සංශෝධනයට ඇතුල් වූයේ සෘජුවම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමැති වූ බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කොට ගෙනය.

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි දූෂණ චෝදනාවල සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ඔහු අන්ත දූෂිතයකු ලෙස නම් පට බැදුණු අයෙකි. එසේම විරුද්ධ පක්ෂ කඩා දැමීම වැනි විරුද්ධ පක්ෂවලට දැඩි ලෙස බලපෑ ආණ්ඩුවේ බොහෝ දේශපාලන තීන්දු පිටුපස සිටියේද ඔහුම යැයි විරුද්ධ පක්ෂ විශ්‍වාස කළේය. එකල සමස්ත ආර්ථිකයම පාලනය කළේ ඔහුය.

මේ නිසා ඔහු දේශපාලනයෙන් ඉවත් කිරීමට විරුද්ධ පක්ෂ සිතීම සාධාරණය. විදේශයක පුරවැසිකම් දරන්නන් මෙරට නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකයට ඇතුල්වීම  වැළැක්වීම ද හොඳ දෙයකි. එහෙත් 19 වැනි සංශෝධනට එම වගන්ති ඇතුල් වූයේ එය පොදුවේ යහපත් දෙයක් නිසා නොව බැසිල් දේශපාලනයෙන් ඉවත් කිරීම  සඳහාය. ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඔහුගේ දේශපාලනයට හෝ දූෂණයට උපකාරී වුවාද? නැද්ද? යන්න සලකා බැලුණේ නැත.

පසුව 2020 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිත්වය යටතේ 20 වැනි සංශෝධනය සම්මත විය. එහිදී ද්විත්ව පුරවැසිභාවය ඇත්තන්ට පාර්ලිමේන්තුවට ඇතුල්වීමට තිබූ තහංචිය ඉවත් විය. එය ඉවත් වූයේ ද එම තහනම පිළිබඳ ඇගයීමක් කිරීම නිසා නොව බැසිල් රාජපක්ෂ මහතාට යළි පාර්ලිමේන්තුවට එන්නට මඟ සලසනු පිණිසය. ඒ බව ඉතා හොඳින් පෙනෙන්නේ ඉදිරියේ දී කෙටුම්පත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එම තහංචිය යළි පනවන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික නිදහස් පෙරමුණේ  නායක  විමල් වීරවංශ මහතාට හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට පොරොන්දු වීම නිසාය.

ඔහු ඒ දෙදෙනා ඇතුළු සුළු පක්ෂ නායකයන් කිහිප දෙනකුට එසේ පොරොන්දු වූයේ එම පිරිස එම තහංචිය ඉවත් කිරීමට විරුද්ධ වූ නිසාය. ඔවුන් එසේ විරුද්ධ වූයේ ද එම තහංචියේ ඔවුන් දුටු යහපතකට වඩා ඔවුන් බැසිල් රාජපක්ෂ මහතා සතුරකු සේ දුටු නිසාය. ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා ඉතා සංවේ දී ලෙස කතා කරමින් මෙම තහංචිය ඉවත් කළ යුතු යැයි කියා සිටි නිසා තමන් ඊට එකඟ වූ බව පසුව ඔහු පැවසූහ.

ජනාධිපතිවරයකු සංවේදීව කතා කළ පමණින් තමන් ජාතික යහපතට පටහැනි යැයි සලකන කරුණකට එකඟ විය හැකිද? ජනාධිපතිවරයා මේ සංවේදී ඉල්ලීම කරන්නේ ඔහුගේ සහෝදරයා වෙනුවෙන්ය යන්න ඔවුනට රහසක් නොවීය. එහෙත් පුද්ගලයකු වෙනුවෙන් රටේ මූලික නීතියේ අහිතකර කොටසක් ආරක්ෂා කරන්නට ජනාධිපතිවරයා සංවේදීව  කියා සිටි විට ඔවුහු ඊට එකඟ වූහ.

මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු බොහෝ නීති වෙනස් වී ඇත්තේ මෙසේ පුද්ගලයන්ගේ හා දේශපාලන පක්ෂවල අවශ්‍යතාවට විනා ජාතික යහපත වෙනුවෙන් නොවේ.  ඒ සම්බන්ධයෙන් ඉතා හොඳ උදාහරණ ගණනාවක් දැක්විය හැකිය. ජේ.ආර්. ජයවර්ධන මහතා අගමැතිව සිටිය දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ තමන් කැමැති ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය පරිදි ජනතා විරෝධය මර්දනය කිරීමේ බලතල සියතට ගැනීම සඳහාය.

ඔහුගේ  පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට 1977 මහ මැතිවරණයේදී හයෙන් පහක බලයක් ලැබී තිබිණි.  ඔහු එය උපයෝගී කරගෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත  කර ගැනීමට සුදානම් විය. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙන්නට ඔහු කොතරම් හදිසි වූයේදයත් එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර එතෙක් පැවැති පළමු ජනරජ ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කරමින් ඔහු විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ 1977 ඔක්තෝබර් මාසයේදීය.

1978 දී ඔහු අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේය. ඒ යටතේ පක්ෂ මාරුකිරීම මන්ත්‍රීවරුන්ට තහනම් විය. එහෙත් විරුද්ධ පක්ෂයෙන් මන්ත්‍රීවරුන් කඩා ගෙන එම පක්ෂ තවත් දුර්වල කිරීමේ අදහසක් ඔහුට ඇති විය. ඒ සඳහා වික්ෂයෙන් ආණ්ඩුවට විනා ආණ්ඩුවෙන් විපක්ෂයට මන්ත්‍රීවරුන් මාරුවීම තහනම් කිරීමේ හාස්‍යජනක නීතියක් ගෙන එන්නට ද ඔහු උත්සාහ කළේය. පසුව තම අරමුණ ඉටුකර ගැනීම සඳහා මන්ත්‍රීවරයකු පක්ෂ මාරු කළ විට ඔහු කලින් සිටි පක්ෂය ඔහුගේ සාමාජිකත්වය අවලංගු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නට කටයුතු  කළහොත් එය අධිකරණයක දී අභියෝග කළ හැකිවන අයුරින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනය හඳුන්වා දුන්නේය.

ජනාධිපති ජයවර්ධන මහතා 1980  දී දූෂණ චෝදනා යටතේ හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය සත් වසරකට අහෝසි කරන්නට පියවර ගත්තේය. මේ නිසා ආණ්ඩුව බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්විය. මේ අතර ආර්ථික ප්‍රශ්න, විරුද්ධ පක්ෂ කඩා ඉහිරවීම හා මර්දනය නිසා ද ආණ්ඩුව 1982 වනවිට තවත් අප්‍රසාදයට ලක්විය.

මේ අනුව තම ප්‍රධාන ප්‍රතිවාදියා වන බණ්ඩාරනායක මහත්මිය තරග බිමේ නැති තත්ත්වය යටතේ ජනාධිපතිවරණය පවත්වා පසුව බණ්ඩාරනායක මහත්මියට ජනාධිපති සමාව දෙන්නට ඔහු අදහස් කළේය. ඒ අනුව නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයකු බලයට පත්වී වසර හතරකින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවන අයුරින් 3 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළේය.

1988 ජනාධිපතිවරණය වනවිට එජාපයට අවාසි තත්ත්වයක් පෙනෙන්නට තිබිණි.  ඒ අනුව එජාපයෙන් තරග කළ අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ සහාය පැතීය. මැතිවරණයක දී පක්ෂයක ආසන ලබාගැනීම සඳහා අවම වශයෙන් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 12.5ක් ගත යුතුය යන නීතිය  සියයට 5 වශයෙන් වෙනස් කළ යුතු යැයි අෂ්රෆ් මහතා ඊට කොන්දේසියක් පැනවීය. ප්‍රේමදාස මහතා එය පිළිගත්තේය. දෙදෙනා අතර සාකච්ඡාව පැවැත්වෙද් දී අලුයම 2.00ට අගමැතිවරයා අදාළ නිලධාරීන් නින්දෙන් නැගිටුවා අදාළ කටයුතු කරන ලෙසට උපදෙස් දුන් බව අෂ්රෆ් මහතා පසුව ප්‍රසිද්ධියේ පවසා තිබිණි.

පුද්ගලයන් වෙනුවෙන් හා පක්ෂ වෙනුවෙන් රටේ නීති වෙනස් කිරීමේ මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම නීති වෙනස් කිරීමට වඩා වැදගත් වන්නේ එහෙයිනි.

(එම්.එස්.එම්.අයුබ්)

(ලංකාදීප )

Social Sharing
නවතම විශේෂාංග