රිදුණු තැන් ජීවිතේ බෝමා… සහනුකම්පිත ආදරය !

– රෂ්මික මණ්ඬාවල –

මේ ගීතය නිර්මාණය කරන්නේ අමිල තේනුවර, අරුණ ගුණවර්ධන, අනුශ්කා මධුභාෂිණි තුන්කට්ටුව. මේ ගීතය මම දකින්නේ සහකම්පනය සහ අනුකම්පාව අතර සියුම් රේඛාව පෙන්නන ගීතයක් විදියට.

සිංදුව පටන් ගද්දිම අපිට කියනවා රිදුණු තැන් ජීවිතේ බෝමා… කියලා. එතකොටම අහන හැමකෙනෙක්ටම ඒකෙන් ආමන්ත්‍රණය වෙනවා. අපි හැමෝටම ජීවිතේ රිදුණු තැන් තියෙනවා. කඳුළු බිඳුවක දෙපැත්තක් ඔබ මා. ඒ කඳුළු බිඳුවට නමක් තියමුද ආදරේ කියලා.

කඳුළු බිඳුවක දෙපැත්තක් ඔබ මා කියලා ඇය තමන්ගේ සහකාරයාට කියන කොට මේ වේදනාව දෙන්නටම එක සමානයි කියන දේ කියනවා. ඒක තමයි සහකම්පනය වෙන පළමු තැන. අපි හුඟක් වෙලාවට අපේවේදනාව විතරයි දකින්නේ. අනිත් කෙනාත් ඒකෙන් වේදනාවට පත්වෙන බව දකින්නේ නැහැ.

සිංදුවේ පළවෙනි අන්තරා කොටසට එද්දි මෙහෙම කියනවා..

පිසලන්න ඕනෙත් නෑ
සනසන්න ඕනෙත් නෑ…
හුස්ම හිරවෙන වෙලාවට විතරක්
පිරිමදිනු ළය මා
සීතලෙන් ගැහෙනා.

මෙතනදී කියන්නේ මොකක්ද? පිසලන්න ඕන නෑ.. කඳුළු පිසලන්න ඕන නෑ.. සනසන්න බොරුවට දේවල් කියන්න අවශ්‍ය නැහැ. කෙනෙක්ගේ වේදනාවකදී එයාව සනසන්න විවිධ දේවල් කියන එක තමයි වැදගත් කියලා අපි හිතනවා.. හැබැයි වැදගත්ම දේ තමයි ඒ වෙලාවට එයා ළඟ තමන් ඉන්නවා කියන හැඟීම දෙන එක. අඬන කෙනෙක් එක්ක අඬන්න… හිනාවෙන කෙනෙක් එක්ක හිනාවෙන්න. ඒ හැඟීම ඔබේ කරගන්න. අනුකම්පා කරලා එයාට සනසන්න රටේ නැති දේවල් කියන්න අවශ්‍ය නෑ. මේ සිංදුවෙ කියන්නෙ, හුස්ම හිරවෙන වෙලාවට විතරක් පිරිමදිනු ළය මා කියලා.. අර වචන දාහකට වඩා ඒ එක ස්පර්ශයක් ඇති ආදරය දැනෙන්න. තමන් තනි නැති බව දැනෙන්න. ඒක තමයි වැදගත්

දෙවෙනි කොටසට යද්දි කියනවා

ළංවෙන්න ඕනත් නෑ
වෙන්වෙන්න ඕනත් නෑ
හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත්
අපිට අපි දුර නෑ

මේ ආදරය සහනුකම්පිත ආදරයක්… මේ තරුණිය අනෙකාව කොච්චර වටහාගෙන කියනවද කියන එක සිංදුව අහද්දී දැනෙනවා.. ළංවෙන්න ඕනත් නෑ වෙන්වෙන්න ඕනත් නෑ
හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත් අපිට අපි දුර නෑ..

හද ගැහෙන රාවෙට ඇහුම්කන් දෙනවා කියන්නෙම අනෙකාව වටහා ගැනීම. සහකම්පනය. සහකම්පනය තියෙනවා නම් අපේ සම්බන්ධතා හුඟක් සාර්ථකයි. එහෙම අයට ළංවෙන්නවත්, දුරස් වෙන්නවත් අවශ්‍ය නැහැ. මේ සිංදුව මම මගේ වැඩසටහන්වලදී ළමයි එක්ක සාකච්ඡා කරන එකක්. ඒ මේකෙන් අපි සහනුකම්පිත ආදරයක් දකින්නේ ලබාගන්නේ කොහොමද කියන එක. මේක ඇතුළෙ කෙනෙක්ට වෙනම දේවල් දකින්නත් පුළුවන්. ඒක විවෘතයි. මේ ඊයෙ වැඩසටහනෙන් පස්සේ ළමයෙක් ලියපු සටහනක්!

අමිල තේනුවර, අරුණ ගුණවර්ධන, අනුශ්කා මධුභාෂිණි ස්තූතියි මේ ගීතය නිර්මාණය කළාට!

සිංදුවෙ ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ..

උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම