ලංකාව සම්බන්ධ තවත් යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් කෙරේ.

ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ(05) මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ප්‍රකාශකළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

ඔවුන් මානව හිමිකම් ආයුධයක් ලෙස යොදාගෙන ශ්‍රී ලංකාව ජීවිතාන්තය දක්වා පාලනය කිරීමට උත්සාහ කරන බව විදේශකටයුතු අමාත්‍යවරයා කියා සිටියේ ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය හමුවේ අද කරුණු දැක්වීමට සූදානම් වන විදේශ කටයුතුඅමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළත් මෙවර ඉදිරිපත්ව ඇති යෝජනාවේ ඇත්තටම සඳහන් වන්නේ මොනවා ද?

අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යනරටවලින් සමන්විත මධ්‍යගත කණ්ඩායම මේ යෝජනාවේ කෙටුම්පත ප්‍රසිද්ධ කර තිබේ.

එහි කරුණු 19 ක් ඇතුළත් ය.

ඉන් මුල් කරුණු දෙකෙන්ම මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අගය කර ඇත.

යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන්කර ඇත්තේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදු වූ මානව හිමිකම් කඩවීම්සම්බන්ධයෙනි.

ආහාර සුරක්ෂිතාවය බිඳවැටීම, බරපතල ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනිකරුණු කෙරෙහි අදාල යෝජනාවලියෙන් දැඩි අවධානයක් යොමුකර තිබේ.

එහි සඳහන් වන්නේ ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි.

සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා ඊට සහභාගීවූවන් අත්අඩංගුවට ගැනීම මෙන්ම ආණ්ඩුවට සහය දක්වන්නන්ට එරෙහිවඋද්ගත වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී සිදු වූ මරණ තුවාලවීම් හා දේපොළ විනාශ කිරීම පිළිබඳව ද මේ යෝජනාවේ අවධානය යොමු කරතිබේ.

මානව හිමිකම් කවුන්සිලයට මධ්‍යගත කණ්ඩායම යෝජනා කරන්නේ, වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිවයුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින සිවිල් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැදීම නවත්වා ඔවුන්ට එරෙහිව ගෙන යන ප්‍රහාරයන්පිළිබඳව ද වහා විමර්ශනය කරන ලෙස මේ යෝජනාවේ ඉල්ලා තිබේ.

මෙවර සැසිවාරයට මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ අවධාරණය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධපිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.

මානව හිමිකම් උල්ලංඝණය කිරීම ඇතුළු අපරාධ විමර්ශනය කර වගවීම ඉටුකර ගැනීම සඳහා මානව හිමිකම් කොමසාරිස්කාර්යාලයට සාක්ෂි රැස් කිරීමට හා විශ්ලේෂණය කිරීමට ශ්‍රී ලංකාව අවසර දිය යුතු බව කෙටුම්පත් කළ යෝජනාවේ 8 වනකරුණේ සඳහන් ය.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ සිදු වූ ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝණය වීම් විමර්ශනය කර ඊට අනුබද්ධව සිදු කරනඅධිකරණමය හෝ ඒ ආශ්‍රිත ක්‍රියාවළියට සාමාජික රටවල සහාය දිය යුතු බවයි.

මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට රටවල් 47 ක් සහභාගීවන අතර ඉන් රටවල් 30 ක් දැනටමත් යෝජනාවට සහයදෙන බව ප්‍රකාශ කර ඇත.

 

(නිව්ස්ෆස්ට්)

Social Sharing
නවතම