අවිඥානික පරිණාමය – නලින් සම්පත් කරුණාසේන

ලෝකයේ හැල්මේ ගමනක ය. නැත…… අපගේ අරමුණු උදෙසා සහ ජීවිතය පවත්වාගෙන යාම පිණිස අපි කඩිනම් ගමනක වෙමු. හිඳින් මේ ගමන හමාර කළ කළෝ කවරෝද? මෙයින් මොහොතකට නැවත, සරතැස නිවා ගැනීමට අවස්ථාවක් එළඹ තිබේ. ඒ නලින් සම්පත් කරුණාසේන චිත්‍ර ශිල්පියාගේ ‘අවිඥානික පරිණාමය’ අභියස ය.

ඉඳුරන්ට ගෝචර වන එයින් ලබන අරමුණු මගින් අපේක්ෂා දල්වන විඥාණික සිත දමනය කොට එයින් මිදී අවිඥානික චිත්තයේ සුන්දරත්වය මතු කිරීමට ශිල්පියා ඔහුගේ සිතුවම් තුළින් දරන ප්‍රයත්නය විස්මය ජනකය. අවිඥානිකත්වය තුළ ලෞකික බවින් මිදීමෙන් අත්පත් කර ගන්නා ආහ්ලාදය ඉඳුරන්ට අරමුණු කරගත නොහැකිය. එහෙත් ශිල්පියා සිය සිතුවමින් එය දෘශ්‍යව නිරූපණය කර තිබේ.

ලෝ පසිඳු චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ ‘කලාවේ අරමුණ ආත්මය වසා පැතිරෙන දූලි සෝදා හැරීම බව වරෙක පැවසීය. කරුණාසේන ද ඔහුගේ සිතුවමින් ස්වකීය ආත්මය මත පමණක් නොව අපගේ ආත්ම වසා පැතිරෙන දුලි සෝදා හරියි.

අවිඥානික පරිණාමය ලෙසින් ශිල්පියා විසින් නම් කරන ලද සිතුවම පහත සිතුවම් අංක දෙකෙන් දැක්වේ. එහි සිටින විඥානික පුරුෂයා තම ඇස කන නාසය දිව කය මන යන ඉඳුරන්ට ගොදුරු වන චක්ඛු ,සෝත, ඝාන ජිව්හා, පොබ්බට්ඪ සහ මනෝ යන විඥනයන්ට පිටුපාශාන්ත ගමනකින් අවිඥානික ලොව කරා පිවිසීමට සැරසෙන අයුරු සිතුවමින් නිරූපිතය. පුරුෂයෙකුගේ විඥානික ලෝකය වඩාත් තදින් ග්‍රහණය කරගන්නේ ස්ත්‍රිය විසිනි . සිතුවමේ පුරුෂයාගේ ශරීරයෙන් බැහැර ට පැමිණි පැවිදි ගේ රුවට පිටුපසින් නැගෙන්න යෝධ මාගම් කාය ඒ බැව් මනාව නිරූපණය කරයි .

කිතුනු දහමින් පෝෂණය වූ පුනරුද සමයේ සිතුවම් සහ මූර්තිවල පටන් මේ දක්වා විවිධ ශානරයන් ගෙන් පැවත එන සිතුවම් මගින් වර්ණ රේඛා හැඩතල සහ ඒ සියල්ලගේම සංකලනයෙන් මැවෙන රූප නිරූපණය කරනුයේ ලෞකික ලොව චමත්කාරය සහ ආශ්වාදනීය බවයි . එහෙත් බුදු දහමින් පෝෂණය වූ ලාංකේය සමාජයෙන් මතුව එන කරුණාසේන ශිල්පියා බටහිර ආරයෙන් බැහැරව විඥානක ලොව ඇති සුන්දරත්වය වෙනුවට ලෝකෝත්තර පස වන අවිඥානික සොඳුරු බව සිතුවමට නගන අයුරු මනස්කාන්තය.

මෙහි සිතුවම් අංක තුනෙන් දැක් දැක්වෙනුයේ බහු නේත්‍රික අංගනාවකි. ඕ දඟලන නලියන යමකට නැගිටිනු නොදී ඒ මත හිඳගෙන දෙපා මත දෙඅත තබා එහි එහි හිස හොවාගෙන හිඳී. ඇගේ හිස පිටතට නිරාවරණය නො වේ . එහෙත් ඇගේ ඇස (චක්ඛු විඥානය) අරමුණු කරගත් නේක දෑ පිළිබඳව ඇයට පවසයි . එයින් ඕ විඩාපත් සෙයකි. එසේම හිඳගෙන හිඳින බිමෙහි ඇතිරිල්ලට යටින් තරකොට තබා ඇත්තේද ඇයට වද දෙන ඇස හෝ වෙනත් ඉන්ද්‍රියක අරමුණු විය හැකිය. එහෙත් එයට ප්‍රතිචාර දැක්වීමට ස්ත්‍රියගේ සූදානමක් නැත . නිමක් නොමැති අභිරුචියෙන් ගෙන් මිදී අවිඥානික පරිණාමයක් වෙනුවෙන් වෙහෙස වන සවිඥානික ජීවියෙකු පිළිබඳව යම් ඉඟියක් මෙම සිතුවම ද ලබා දෙයි.

ශ්‍රී ලාංකේය නූතන සිතුවම් කලාව තුළ සිය අනන්‍යතාවය සනිටුහන් කරන කරුණාසිරි විජේසිංහ, චාල්ස් දයානන්ද , සුජිත් රත්නායක, දිලිප් ජීවන්ත, ශාන්ත කුලතුංග වැනි ශිල්පීන් අතර නලින් සම්පත් කරුණාසේන ද එක් අයෙකු ලෙස හැඳින්විය හැකිය . ඔහුගේ සිතුවම් ඔහුටම ආවේණික වන්නේ ශිල්පියා සතු අද්විතීය පරිකල්පන ශක්තිය සිතුවෙමි දෘෂ්‍යමාන වීම ,සියුම් රිද්මීය රේඛා භාවිතය යනාදී කරුණු හේතුවෙනි. වැන්ගෝ ගේ සිතුවම් මත තෙළිතුඩින් මැවෙන ගීතවත් බව හා ලලිත බව කරුණාසේන ද ඔහුගේ සිතුවමින් මවයි . ඒත් ඔහුගේ පැන්සලෙන් ඇඳෙන රේඛාවල රිද්මය වැන්ගෝ ගේ සිතුවම් ඒ රිද්මයට වඩා වෙනස් සන්සුන් බවක් ප්‍රකට කරයි.

සිතුවමක අලංකාරය සඳහා වර්ණ මගින් කරන බලපෑම නලින් සම්පත් කරුණාසේන පසෙකින් තබයි. ඒ වෙනුවට ඔහු බොහෝ ඔහුගේ බොහෝ සිතුවම් වල රේඛා, හැඩතල හා ලාලිත්‍ය සමඟ ඔහුගේ සොඳුරු පරිකල්පනය බද්ධ කරයි.

ශිල්පියා විසින් අඳින ලද තවත් සිතුවම් කිහිපයක් ඔබට අවැසි ලෙස අරුත් ගන්වා ගැනීමට මේ සමග තබනු කැමැත්තෙමි.

ඔක්තෝම්බර් මස 13, 14 සහ 15 දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවැත්වෙන ආවිඥානික පරිණාමය නමැති ඔහුගේ සිතුවම් ප්‍රදර්ශනයට පැමිණ තවදුරටත් ඔහුගේ සිතුවම කියවා ගැනීමට ඔබට හැකි වනු ඇත .

— ප්‍රියංගිකා —
03.10.2022

Social Sharing
අවකාශය නවතම