අකාලේ පරව ගිය සි‍ංහල කණ්ඩායම් ගී පොකුරේ කුළුඳුල් පුෂ්පය – නෙවිල් ප්‍රනාන්දු

ඔහු උපන්නේ වර්ෂ 1937 පෙබරිවාරි මස 05 වන දිනය. ඔහු මෙලොවින් සමු ගත්තේ වර්ෂ 1975 අප්‍රියෙල් මස 23 වන දින ය. ඒ අනුව ඔහු ජීවත් වූයේ අවුරුදු 38 ක් පමණෙකි. එහෙත් මිය ගොස් වසර 50 ක් පමණ ගෙවී ගියද තවමත් ඔහු පිළිබඳ කතිකාව අවසන් වී නොමැත.

“මාස්ටර් සර්..මගෙ හිමිකම මට දෙන්න” ගීතයේ කටහඬ පටිගත කිරීමට 1974 වසරේ දිනක් ඔහු හැදල විජය චිත්‍රාගාරය වෙත පැමිණියේ ය. එදින ඔහු දැඩි ලෙස රෝගාතුරව සිටි බැවින් එහි රැදී සිටි බොහෝ දෙන ඇතැම් විට කලබලයට පත් වන්නටත් ඇත. නමුත් නෙවිල් දැඩි දුෂ්කරතා වේදනා මධ්‍යයේ වුවද එය සාර්ථකව අවසන් කළේය.

පටිගත කිරීම් අවසානයේ දී සියල්ලන් ප්‍රශ‍‍ංසා කරන අතර ඔහු වේදනාවෙන් නලියමින් කියා සිටියේ චිත්‍රපටය ප්‍රදර්ශනය වන කල එය බැලීමට තමා ජීවතුන් අතර නොසිටින බව ය. ඒ වන විටත් මහා දරුණු පිළිකා රෝගයකින් ඔහු පීඩා විඳිමින් ප්‍රතිකාර ලබමින් සිටියේය. එය ලියුකේමියා හෙවත් ලේ පිළිකාව යි.

ඊළග වසරේ එනම් 1975 දී එම ගීතය රැගත් ‘ක‍ළු දිය දහර’ ප්‍රදර්ශනය වන විට නෙවිල් අවසන් ගමන් ගොසිනි. මිය යාමට මාස කිහිපයකට පෙර ඔහු තැටි ගත කළ ‘මා පැතූ මගේ රන් ලොවයි’ එක්තරා ගීතයකින් ඔහු මෙලෙස ගයා තිබිණ.

“මා පැතූ මගේ රන් ලොවයි – සෙනෙහසින් ඉදි කළ මගේ ලොවයි.
මදහසින් එළි වුණ ලොවයි
සියල් යසසිරු එකට කැළැතී – මා පැතූ මගේ රන් ලොවයි.

හිරු දහස් සදු දහස් නැගුණා – බාල මේ කුළු අහස් නැගුණා
මුරුගසන් වරුෂාව වැටුණා – එ රන් ලොව සක්වළින් මැකුණා.

මෙම ගීතයේ තනුව, ස‍ංගීතය, ගායනයට සවන් දෙන ඕනෑම අසන්නකුගෙ දෑසට කදුළක් නොනැගුණොත් එය විස්මයකි.
(මෙම ගීතය නෙවිල් ප්‍රනාන්දු වෙබ් පිටු අතර ඔබට සොයා ගත හැකිය.)

නෙවිල් යනු නිත්‍ය වශයෙන්ම කවුදැයි වෙබ් පිටුවලින් සොයා ගැනීම බොහෝ අසීරු ය. එහි පළවී ඇති එකිනෙකට පරස්පර කරුණුය. ඔහු මිය ගිය දිනය පවා ඇතැම් ලේඛණයන්හි සාවද්‍ය ය. ඔහු උපන් දිනය පිළිබඳව වුවද පැහැදිලි ප්‍රකාශ් සටහන්ව නැත. එසේම ඔහු පිළිබඳ පූර්ණ විස්තර පවා අඩු ය. එමනිසාම ඔහුට අසාධාරණයක් නොවන පරිදි ඔහු පිළිබඳ ලිවීමට ඉමහත් ප්‍රයත්නයක් දැරීමට මට සිදු විය.

නෙවිල්ගේ පියා මෙලොවින් සමුගෙන ඇත්තේද ඔහු ලෙසින්ම ඉතා අඩු වයසක් වන අවුරුදු 33 දී ය. ඔහුද නෙවිල් විලසින්ම සංගීතයට සපන්කමක් දැක්වූ කෙනෙකි. ශ්‍රාස්ත්‍රීය වයලීන වාදනයට දස්කම් පෑවෙකි. නෙවිල් ශ්‍රාස්ත්‍රීය ගිටාර් වාදනයට සපන්කමක් පෑ කෙනෙකු විය. එය පියා වෙතින් ජානමය වශයෙන් ලත් හැකියාවක් විය හැකිය. ඔහු කිසි කලෙක කිසිවකු වෙතින් සංගීතය හදාරා නැති බව ඔහුගේ සොහොයුරු එරල් පවසයි. ඔහු ඇතැම් අයට සංගීතය ඉගැන්වූ බව නම් එරල්ට හොඳටම මතකය.

ඔහු මීගමුවේ ශාන්ත මරියා විදුහලින් ශිල්ප හදාර ඇත. පියාගෙ අකල් වෙන්වීම නිසා වැඩිමලා ලෙස නෙවිල්ගේ කර මතට පවුලේ වගකීම් සියල්ල වැටිණි. ඒ යුගයේ සිය මව සමඟ පවුලේ සියල්ලන් දැඩි දුක් කරදර වින්ද බව එරල් පවසයි. ගණීතය විෂයට සිය පියා ලෙසින්ම නෙවිල් ද විශිෂ්ට දස්කම් පෑ මුත් පාසල් අධ්‍යාපනය නිම කොට උසස් අධ්‍යාපනය ලබනු වෙනුවට කොළඹ මරදානේ කාර්මික විද්‍යාලයට ඇතුළත් වී රැකියාවක් ඉලක්ක කරගෙන පාඨමාලාවක් කිරීමට ඔහුට සිදු වී ඇත.

නෙවිල් තුළ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳව පැවැති දැනුම් සම්භාරය විශ්මජනක බව ඔහු ඇසුරු කළ බොහෝ අය සඳහන් කරති. ගණිත දැනුමත් ඉලෙක්ට්‍රොනික/ඉලෙක්ට්‍රික් දැනුම උපයෝගි කරගෙන එවන් අංශයකට යොමු වුණේ නම් ( සංගීතවේදියකු නොවී) ආර්ථික වශයෙන් ඔහුට මීට වඩා සාර්ථක දිවියක් ගත කළ හැකිව තිබුණ බව ඇතැම්හු කියති. එහෙත් යාන්තම් බහ තෝරන වියේ සිටම නෙවිල්ගේ සිත ඇදී ගියේ සංගිතයට මය.

මීගමු ප්‍රදේශයේ තමාගේ වයසේම තවත් දෙදෙනකු එකතු කරගෙන ‘Fernando Trio’ (ෆර්නෑන්ඩු ට්‍රියෝ) ගායක කණ්ඩායම පිහිටුවා ගත් එකල රටේ ජනප්‍රියව පැවැති සිංහල සහ ඉංග්‍රීසි ගී ගැයීම ආරම්භ කළේය. කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනා වූයේ මෙරිල් ප්‍රනාන්දු සහ බර්නඩීන් ප්‍රනාන්දු ය. පසු කලෙක ‘ලොස් කැබැල්ලරොස්’ කණ්ඩායම පිහිටුවීමට මුල් වුණේ ද මෙම ආරම්භයයි.

මෙරට ප්‍රථම ගායක කණ්ඩායම වර්ෂ 1961 මැයි මසදී නෙවිල් ප්‍රනාන්දු විසින් ‘Los Cabellaros’ නමින් ආරම්භ කරන ලදී. මෙම නාමය ස්පාඤ්ඤ එකක් බැවින් එම භෂාව උච්චාරණය කරන ක්‍රමය අනුව එය “ලොස් කැබෙයියාරෝස්” යනුවෙන් උච්චාරණය කළ යුතු වේ.

නෙවිල් මුලරම්භයේ සිටම ආභාෂය ලැබුවේ පැර්ගුවානු සංගීත ශෛලියෙන් බැවින් ඔහු සිය කණ්ඩායමේ ඇඳුම් නිර්මාණය කළේ ඒ අනුව ය. ශ්‍රාස්ත්‍රීය ගිටාර වාදනය සදහා අතෙහි ඇගිලි පහම භාවිතා කිරීම අනිවාර්ය ය. එම නියාමනය අනුව යමින් ශ්‍රාස්ත්‍රීය ගිටාරය වාදනය කළ නෙවිල් සිය කණ්ඩායම සාමාජිකයන් පස් දෙනකුට සීමා කළේය.

එම කණ්ඩායමේ සාමාජිකයන් පස් දෙනාම ගායනයට සම්බන්ධ වූහ.

(1) නෙවිල් ප්‍රනාන්දු – ප්‍රධාන ගායනය සහ සංගීත සංයෝජනය
(2) හැරල්ඩ් පෙරේරා – තාල තරංග/අමතර වාදන
(3) ලියෝපෝල් පෙරේරා – බේස් ගිටාරය
(4) වර්නන් පෙරේරා – රිදම් ගිටාරය
(5) ක්ලෙමන්ට් රෝලන්ඩ් – රිදම් ගිටාරය

නෙවිල් ප්‍රමුඛ ලොස් කැබෙයියාරෝස් කණ්ඩායම මෙරට ගුවන් විදුලි ගී ලෙසින් මුලින්ම ගායනා කළේ කලින් වෙනත් ශිල්පීන් විසින් තැටිගත කොට තිබුණ ජනප්‍රිය ගී කිහිපයකි. ‘ රා මදින්නා’ (සී.ටී.ප්‍රනාන්දු ), ‘ උඩරට මැණිකේ’ (සී.ඩී.ෆොන්සේකා, රශීනා යකීම්), ‘ වැල්ල සිපින රැල්ල ‘( ධීවරයෝ චිත්‍රපටයේ ගීතයක්)… එම ගීත වේ. නෙවිල් මහතා සී.ටී.ගේ ගී වලට දැඩි කැමැත්තක් දැක්වූ බව ප්‍රකට කරුණක් විය. මෙම හේතුව නිසා ඔහුට පසු කලෙක සුළු සුළු ගැටලු වලට ද මුහුණ දීමට සිදු විය.

ලොස් කැබෙයියාරෝස් ගායනා කළ ‘ රා මදින්නා’ ගීතය ගුවන් විදුලියේ වාදනය වීමට එරෙහිව එදවස සී.ටී. ප්‍රනාන්දු මහතා බලධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම ගීතයේ තනුවද මූලික ගායනයද තමාගේ බැවින් අන් අයකු ගායනා කරන ගීතය ප්‍රචාරය කිරීම සාවද්‍ය බව ඔහු තර්ක කළේය.

(ඉතිරි කොටස ඉදිරි දිනකදී….)
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම