තක්කාලි ලෝලීන්ට විශේෂයි…!

– කේ. සංජීව –

තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි කියලා මම නම් කියන්න දන්නේ නෑ. සමහරු කියන විදිහට තක්කාලි තමයි ගුණෙන් වැඩිම පළතුර. සමහරු කියන විදිහට එළවළුව. කවුරු කොහොම කිව්වත් හේන්බටු තක්කාලියේ ඉඳලා ලොකු ගෙඩි මස් තක්කාලිය වෙනකම් තක්කාලි ලෝලියෙක් මම. ඉස්සර අපේ අම්මා කරවල හාල්මැස්සෝ මොන ජාතිය හැදුවත් තක්කාලි ඒකට වීසිකරන්න අමතක කළේ නෑ. එළවළු ගේන්න කඩේට ගිය කිසිම වෙලාවක එයා තක්කාලි අමතක කළේ නෑ. ඒ හින්දමද කොහේද තක්කාලිවලට මාත් මාර ආසයි.

තක්කාලි රස රැසක් තියෙනවා මට හිතෙන විදිහට. පහළ ඌවේ හේන් පැල් වටේට හිනාවෙන පුංචි බටු තක්කාලිය හේන් හොද්දට වීසිකළාම තක්කාලිය ඒ හොද්දේ තවරන ඇඹුල් රසය මාරයි. සමහර වෙලාවට හේනේ ඉදෙන මඤ්ඤොක්කා කොළ මැල්ලුමට මේ හේන් තක්කාලි ගෙඩියක් එහෙට මෙහෙට කපලා දැම්මාම ඒකට එනවා අර මඤ්ඤෝකා කොළ රසට වෙනස් උත්තුංග රසක්.

ඉස්සර අම්මා අපිට උණ හැදිලා කටට කිසි දෙයක් රස නැතිවුණාම උඟුර තුවාලවෙලා වගේ තියෙන වෙලවට හදාලා දෙන සම්බෝල වර්ග දෙකක් තිබුණා. එකක් තමයි පොල් ගලෝලා ළිපේ අඟුරු අස්සෙ සඟවලා කළුවට හිනාවුණාම එළියට අරං ගලේ ගම්මිරිස් එක්ක අඹරලා හදන සම්බෝලය. ඇත්තටම මේක සම්බෝල කීවට ලුණු මිරිසක් වගේ එකක්. කළුවට කළුවේ දිවග මේක තියාගත්තාම ඉතිං බත් ටික බඩට වැටෙනවා කිසි හිරිකිතයක් නැතුවම.

ඊළඟට අපිට මෙහෙම වේලාවට දෙනවා තක්කාලි කපලා ලොකු ළූණු ගම්මිරිස් නයි කොච්චි එක්ක මික්ස් කරලා. මේකටනම් උඩින් දෙහි මිරිකනවා. දෙහියි නයි මිරිසුයි තක්කාලියි ලොකු ළූණුයි එකතුවුණාම එන රස නොදන්න කෙනෙක් ලංකාවේ ඉන්න විදිහක් නෑ. මේක උඩින් උම්බලකඩ ඕසෙට ඉස්සාම රස දෙගුණ වෙනවා. මෙහෙම සම්බෝලයක් හැදුවාම ඒකේ රසම කොටහා තමයි භාජනය අඩියේ ඉතුරු වෙන හොද්ද. මට හිතෙන්නේ රත්නපුරේ ට සුවිශේෂ රසක් තමයි මේ හොද්ද. මේක පස්සේ කාලේ ඔය තායි කාරයෝ එහෙම ඇවිත් රත්නපුරේ පදිංචි වුණාම වෙනම රසක් විදිහට බයිට් උඩින් උඩින් වැටුණා. රත්නපුරේ තියෙන රික්මන්ඩ් එක වගේ තැන්වල ඉස්සර බීපු එවුන්ට මේ රස අමතක වෙන්න විදිහක් නෑ. කරුමේ කියන්නේ මට මේකේ නම කටට එන්නෙම නෑ. ඒවෙනුවට කටට කෙළ උනනවා..

 

මේ ළඟදි දවසක කන්න හදාගන්න කිසිම දෙයක් නැති වෙලාවක එහේ මෙහේ බැලුවාම තක්කාලි ගෙඩි දෙකක් හිනාවෙනවා. රසකාරක නූඩ්ලස් පැකට් පොඩ්ඩෙකුත් අයිනක හිටියා. දැන් ඉතිං කොරන්න දෙයක් නෑ. වතුර අඩු කෝප්පයක් විතර ළිපේ තියලා ඒකට ලොකුවට කපලා තක්කාලි ගෙඩි ටික දැම්මා. ඊළඟට ලොකු ළූණු ගෙඩියකුත් හතරට පහට කපලා වීසි කළා. වතුර එක නටාගෙන එනකොට බඩ නට නටා බඩගිනී කියනකොට නූඩ්ලස් එකත් අරකටම එකතුකරලා සෝයා සෝස් ටිකක් ලාවට සියඹලාවක් එකතුකරලා කරකෝලා ගත්තා. අම්මෝ අමා රස. තක්කාලි මස යාන්තමට මෙලෙක වෙනකොට ගන්න තියේනම් රහා වැඩී.

කාලයක් මම සිංගප්පූරුවේ ලා විලා කියලා ඉතාලි රස සුවඳ ඇගට හලාගත්ත රෙස්ටුරෙන්ටුවක වැඩ කළා ඩීජේවරයෙක් විදිහට. (ඒක ගරු නාමයක් විතරයි…!) ඉතිං උතුරු ඉන්දියානු යක්ෂයා අපි එහෙමයි ඒ චෙපාට කියන්නේ.. මිනිහා උදෙන්ම ඇවිත් කරන පළවෙනි වැඩේ තමයි ලස්සනම ලස්සන තක්කාලි පැටව් ටික පොත්ත යාන්තම් තැනින් තැන කොළුවට හැරෙනකම් අවන්ගත කරන එක. ඊටපස්සේ තමයි ඒකෙන් පීසාව උඩින් වනන තක්කාලි ජූසිව හදාගන්නේ.

ඕයාලා තක්කාලිවලට ආසනම් තක්කාලි අවන්ගත කරලා කාලා බලන්න. ඇලුමිණියම් කොළයේ දවටලා පුච්චගෙන කාලා බලන්න. රස්නෙට පිට කට්ටකැඩිලා රස්නේ තක්කාලි ජූසිව දිවගට හලාගත්තනම් ඔබ තක්කාලි පෙරේතයෙක් වෙනවා නිසැකයි. ඒ ජූස් එකේ නැත්තං රස සිරපයේ රස පැණියෝ ඔබ ආසකරන හැම රසක්ම තියෙනවා. ඔබගේ දිව රසග්‍රහනකාමී නම් රාගීවරයෙක් විදිහට ඔබට තක්කාලි රස එක්ක හැමනෙන්න පුලුවන්..

පීසා පස්තා ලසඤ්ඤා වගේ කෑම ජාති ගත්තාම ඒවාට මේ අපි කතාකරන තක්කාලියා නැතිව රසට සුවඳට ලාස්සනට හිනාවෙන්න බෑ. රස ගුලාවක් වෙන්නත් බෑ. එක එක තක්කාලි වර්ග එක එක රස වගේම එක එක කෑම වට්ටෝරු හැඩ කරනවා.

තක්කාලියා කියන්නේ කෑම රස කරන කරපිංචා රම්පේ වගේ දෙයක් විතරක් නෙවෙයි තක්කාලියා කියලා කියන්නේ වෙනම කන්න පුලුවන් දහස් ගානක් රස වට්ටෝරුවල මුල් තැන හොබවන එළවළුවක්. ස්පාඤ්ඤය නම් අවුරුද්දකට සැරයක් තක්කාලිවලින් ගහගෙන මේ රස තක්කාලියාව රසට සමරනවා. ඒක තක්කාලි සෝස් එකක කිමිදිලා හිටියා වගේ වැඩක්.

මස් මාළු කරවල මේ මොකක් උනත් තක්කාලි ජූස් එකෙන් තම්බගෙන කාලා බලන්න ඒක මොනතරම් රස ද කියලා. හරක් මස් වගේ තද මාංශයක් තක්කාලි එක්ක එකට හමන්නලා තිබ්බාම මස් අස්සට තක්කාලියා රිංගලා අපේ දිවට දෙනසැප ගැන නොදන්න කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ. පොඩි පොඩි චෙරි තක්කාලි සැලඩයක හොවලා ලස්සනට හැඩ බලන ගමන් එකින් එක කටට වීසිකරගෙන බලන්න කොච්චර රසද කියලා. මස් තක්කාලිය යාන්තම් පුච්චලාවගේ අරං මීකිරි එකක දාලා ලුණු ඉසලා ගම්මිරිස් ඉසලා කාලා බලන්න කොහොමෙයි කියලා.

ඉතිං මේක නිකමට වගේ ලීවේ අපි මේ රස උන්නැහේට සලකනවා මදි කියලා කියන්න. තක්කාලිවල ගුණ ගැන කතාවට මම රුසියෙක් නෙවෙයි. ඒත් සරළ අදහස තක්කාලි කියන්නේ ගුණවන්තයෙක් කියන එක. එක එක මල්ටි විටමීන අත්‍යාවශ්‍ය ලෝහ එහෙම දවටගෙන ඉන්න තක්කාලියා ගැන ටිකක් වැඩිපුර හිතන්න. අපි අහක දාන එළවළු අතරේ මුදුනින්ම ඉන්න කෙනෙක් තමයි මේ තක්කාලියා. ඔය ටකට ටකට කොත්තුවක් ඔබ ගෙදර හදාගන්නවානම් තක්කාලියෙක් දෙන්නෙක් දාලා හොඳට ගසාගෙන බලන්න. මුලින්ම තැටිය උඩ තියලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා සත් කරගන්න.

ගෙදර තියෙන්නේ හාලුයි තක්කාලියි විතරයිනම් දෙකම එකට දාලා ඒකට තව කරපිංචා සුදුළූණු රම්පේ සේර කහා පොල් කිරි සුඟක් වගේ එකට සංයෝග කරලා උයලා බලන්න.. ආයි එළවළු සොයන්න කඩේට දුවන එකක් නෑ. ඒක තමයි තක්කාලියා අපිට සලකන විදිහ. පොල් කිරට තක්කාලි කෑලි දාලා හොඳට උම්බලකඩ වීසිකරලා උළුහාල් හොඳට දාලා තක්කාලි හොද්ද කාපු අය නොඉන්න විදිහක් නෑ. එහෙම අය රස මතක් කරගන්න. රතු පොල් සම්බෝලෙට චරස් ගාලා හැපෙන්න තක්කාලි වීසිකරන ඈයෝ මේක කියවන්නම ඕනී.

තක්කාලි ගැන ලියන්න හිත හිතා ඉන්නකොට අද මේ පොටෝ එක ඇහැට පැන්නා. ඉතිං ඕන් ලීවා. තවත් තක්කාලියාගේ රස දන්න අය හලාගෙන බෙදාගෙන යන්න..

Social Sharing
අවකාශය නවතම