ජූලි 11 දා, අඟුලාන පොලීසියේ නිලධාරියෙකු විසින්, මොරටුව, ලුනාව වෙරල අසබඩ ජීවත්වූ අමිත් කරුනාරත්න නමැති ධීවරයා වෙඩි තබා ඝාතනය කිරීමත් සමග ප්‍රදේශයේ මහජනතාව ආරම්භ කල විරෝධතා උද්ඝෝෂනය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ඔවුහු, ජූලි 16 දා අඟුලාන පොලීසිය ඉදිරිපිට තවත් විරෝධතා උද්ඝෝෂණ දෙකක් පැවැත්වූහ. සිද්ධිය සම්බන්ධ නඩු විභාගය එදින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනයේ පලමු වරට පැවැත්වීමට නියමිතව තිබියදී, එහි ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා පොලීසිය විසින් රැගෙන යාමට එරෙහිව, ඔවුන් දෙදෙනා වහාම ලබාදෙන ලෙස ඉල්ලා පලමු උද්ඝෝෂණය පැවැත්වින. උද්ඝෝෂණයට අවශේෂ මහජනතාවගේද අවධානය යොමුවෙමින් පැවති තතු තුල, පොලීසිය සාක්ෂිකරුවන් දෙදෙනා භාර දුන්නද, අධිකරණ යට පැමිණි කරුනාරත්නගේ පවුලේ අයට සහ හිතවතුන්ට දැන ගන්නට ලැබුනේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි. සාමාන්‍ය අධිකරණ පටිපාටියමත් අමු අමුවේ උල්ලංඝණය කිරීමක් වන මෙයින්, කෝපයටපත් මහජනයා ඔවුන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් එදිනම අඟුලාන පොලීසිය ඉදිරිපිට තවත් උද්ඝෝෂණයක නිරත වූහ.
පොලීසිය ඔවුන් විසුරුවා හලේ කඳුලුගෑස් ප්රහාරයන් සහිත කුරිරු මර්දනයක් දිගේලී කරමිනි. පොලිස් ස්ථානයට ගල්ගසා දේපොල හානි කලේය යන චෝදනා මත, කාන්තාවන් 9 දෙනෙකු ඇතුලු 14 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුනි. ඝාතනයට එරෙහි විරෝධතාවයන් අනෙකුත් ජන කන්ඩායම් අතර ද පැතිරයනු ඇතැයි බියපත්වූ ආණ්ඩුව, වහාම බස්නාහිර පලාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු ඉහල පොලිස් නිලධාරීන් ප්‍රදේශයට මැදිහත් කලේය. ඔවුහු පවුලේ සාමාජිකයන් හමුවී යුක්තිය ඉටුකරන බවට පොරොන්දු ලබා දුන්හ. අධිකරණයේ නඩු අසා චුදිතයන් බවට පත්ව සිර දඩුවම් විඳිමින් සිටි පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් පවා නිදොස්කොට නිදහස් කිරීම සඳහා ජනාධිපති බලතල යොදා ගැනීමේ සහ අධිකරණය මෙහෙයවා ගැනීමේ දීර්ඝ සහ කූප්රකට වාර්තාවක් ලංකාවේ පාලක පන්තිය සතුවේ. එහි මෑතම සිද්ධිය වනුයේ, 2000 වසරේ දී උතුරේ මිරිසුවිල් හි දෙමල වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ම 2015 දී මරන දඬුවම නියම වී සිරබත් කමින් සිටි සුනිල් රත්නායක නමැති යුද හමුදා කෝප්‍රල්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 මාර්තු මස අගදී සියලු වැරදි වලින් නිදොස්කොට නිදහස් කිරීමයි.
2000 වසරේදීම, බන්ඩාරවෙල පුනරුත්ථාපන කඳවුරේ රඳවා සිටි දෙමල රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු අසා වරදකරුවෙකුව සිටි පොලිස් පරීක්ෂක සේනක කරුණාසේන ඇතුලු සිවු දෙනෙකු, 2005 මැයි මස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිදොස්කොට නිදහස් කිරීම තවත් සිද්ධියකි. මෙම නඩු තීන්දුව, උත්සන්නියට නැගුනු සිංහල වර්ගවාදී උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් බව කුප්රකටය. 2008-2009 වසර වලදී තරුනයන් 11 දෙනෙකු පැහැරගෙනගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුලු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව විභාග වෙමින් පැවති නඩුව ඉදිරියට ගෙනයාම වලකා ඇත. කරන්නාගොඩ ජනාධිපති රාජපක්ෂගේ සමීපතමයෙකි. යුද සමයේ නිර්මාණය කරගත් මෙම මිලිටරි – පොලිස් මර්දන යන්ත්‍රය, වඩාත් ඉහලට වර්ධනය කර ගනිමින් මිලිටරිය මත පාදක වූ ආඥාදායක පාලනයකට පැන ගැනීම ගෝඨාභය රාජපක්ෂගේ ක්ෂනික න්‍යාය පත්‍රය යි. ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින රාජපක්ෂ ආණ්ඩුවට, දැවැන්තම කප්පාදු හරහා එහි බර කම්කරු – පීඩිත මහජනතාව මත පැටවීම සහ එයට එරෙහිව කම්කරුවන් සහ පීඩිතයන් අතරින් පැන නගින අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම හැර අන් විකල්පයක් නැත. කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ රාජපක්ෂ මෙම වැඩපිලිවෙල වේගවත්කොට ඇති අතර පොලීසිය ඇතුලු රාජ්‍ය මර්දන යන්ත්‍රය ගැම්ම ගන්නේ, ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් තමාට ආරක්ෂාව සැපයෙන බවට බවට ඇති විශ්වාසයෙනි. අඟුලාන පොලිස් ඝාතනය එහි සෘජු ප්රතිඵලයකි.