කබ්රාල්ගෙන් පිටු 37ක දිවුරුම් පෙත්සමක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමෙන් රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනු ඇතැයි විශ්වාස කිරීම මිත්‍යාවක් බවත් එකී අරමුදලින් සහාය ලබාගත් බොහෝ රටවල් විනාශවී ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට සඳහන් කර ඇත.

පිටු 37කින් යුත් මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත්කරමින් ඒ මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තමා සැමවිටම කටයුතු කළේ මහ බැංකුවේ වගකීම නීතියට අනුව බවත් මහ බැංකුවේ මූලික අරමුණ ඉෂ්ට කර ගැනීමේ පරමාර්ථයෙන් බවත් තමන් ඉටුකළ කාර්ය අනුව පැමිණිලිකරුවන්ගේ කිසිදු මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී නොමැති බවත්ය.

රට ආර්ථික අගාධයකට ඇද දැමීමට පාදකවූ තීරණ ගත් වගකිවයුත්තන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකර නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම දිව්රුම් පෙත්සම ඉදිරිපත්කොට තිබිණි.

මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් කේ. මලල්ගොඩ, එල්. ටී. බි. දෙහිදෙනිය හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

එහිදී රට මෙවන් අගාධයකට වැටීමට හේතුවී ඇත්තේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් 3 වැනි වගඋත්තරකරු ලෙස නම්කොට ඇති බැසිල් රාජපක්ෂ හා 7 වන වගඋත්තරකරු ලෙස නම්කොට ඇති අජිත් නිවාඩ් කබ්රාල්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා බවද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර ඊයේ (01දා) විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

Social Sharing
නවතම පුවත්