මතින් බිහි වුණු මායා ලොවක සිරවුණ එමී..!

– සහන් කසීර වික්‍රමසිංහ –

වසර 11 ට පෙර අද වැනි දවසක විසි හත් හැවිරිදි ග්‍රැමි සම්මානලාභී ගායිකා ඒමී වයින්හවුස් ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ලන්ඩන් පොලීසියට හමු විය.

‘මම ගායිකාවක විනා නිරූපිකාවක් නොවේ’ යැයි අකලට වියැකෙන තාරුණ්‍යය අබියස මාධ්‍යය වෙත අවධාරණය කළ, බ්‍රිතාන්‍ය සංගීතය විශ්වයට රැගෙන ගිය තුරුණු ගායිකාව ඒමී වයින්හවුස් ලන්ඩන් නුවර නිවාස සංකීර්ණයක හොර රහසේම මෙලොව හැර ගොසිනි. මරණයට හේතුව ඇල්කොහොල් විෂ වීමක්යැයි පැවසී තිබිණ.

‘ඇය දුශ්චරිතයෙන් පිරී සිටියේ නැහැ. එහෙත්, ඇය තරමක් වෙනස්’ මෙසේ පැවසුවේ ඒමීගේ පියා වන මිෂෙල් වයින්හවුස් ය.1983 සැප්තැම්බර් 14 වැනිදා ඒමී ජේඩ් වයින්හවුස් මෙලොව එළිය දුටුවේ යුදෙව් පවුලක ය. කැබ්රථ රියදුරෙකු වූ පියාගේ සැහැල්ලු ජීවන රටාවද, ඖෂධවේදිනියක වූ මව ජැනිස්ගේ සංගීත පසුබිම ද කුඩා ඒමී ගේ සිත් ගත්තාය. මවගේ දිරි ගැන්වීමෙන් වයස අවුරුදු දහය වනවිට ඇය කුඩා සංගීත කණ්ඩායමක් පිහිටුවා ගෙන 2003 වසරේ Frank ඇල්බමය සමග කරළියට පා තබන්නීය. ඒකාකාරී සංගීත රටාවෙන් විඩාබරව හුන් සංගීත ලෝලීන්ට මේ ගීත අහුර මහත් ආස්වාදයක්ම විය. Rap, Hip hop, R & B , Jazz සහ Solo ආදී සෑම ශිල්පීය ක්‍රමයකම නැවුම් මිශ්‍රණයක් ඒමී අත්හදා බලා තිබිණි. සැබැවින්ම ඇය මිශ්‍රණයන් අත්හදා බැලීමේ විශේෂඥවරියකි. පසු කාලයක ඒමී තාවකාලික නිද්‍රාගත තත්ත්වයක් තෙක්ම සිහි විසඥව සිටියේ ද එහි ප්‍රතිඵලයක් ලෙස ය. එහෙත්, එවර ඇය අත්හදා බලා තිබූ මිශ්‍රණය වූයේ ඇල්කොහොල්, කොකේන්, හෂීස් සහ හෙරොයින් ය.

මිය යනවිට ඒමී ගේ වයස අවුරුදු 27 ක් පමණි. එහෙත්, ඒ කෙටි කාල පරාසය තුළ ඇය පෑ හපන්කම් අපමණ ය. ගායිකාවක මෙන්ම ගීත රචිකාවක ලෙස ඇය පෙන්නුම් කළ හැකියාවන් සංගීත ලෝලීන් ගේ සිත් තුළ රැව් පිළිරැව් දෙනු නියත ය. 2006 වර්ෂයේ Back to Black ඇල්බමය සඳහා ඇය නිර්දේශ වූ ග්‍රැමි සම්මාන හයෙන් පහකටම හිමිකම් කීවාය. එය බ්‍රිතාන්‍ය ගායිකාවක් විසින් ග්‍රැමි සම්මාන පහක් හිමි කර ගත් ප්‍රථම සහ එකම අවස්ථාව ලෙස සැලකේ.

ග්‍රැමි සම්මාන ඉතිහාසය පිරික්සීමේදී ඒමී වයින්හවුස් හැරුණු කොට මේ දස්කම දක්වා ඇත්තේ ගායිකාවන් දෙදෙනෙක් පමණි. ඒ Alicia Keys සහ Lauryn Hill ය. මේ හැරුණුකොට ඒමී, Ivor Novello සම්මාන හතරක්, MTV Europe Music සම්මාන හතරක්, MTV Video Music සම්මාන තුනක් සහ ලෝක සංගීත සම්මාන තුනකට ද හිමිකම් කීවාය. ස්වකීය කෙටිකාලීන ජීවිතය තුළ ඇමී 58 වතාවක් සම්මාන සඳහා නිර්දේශ වී ඉන් 23 වතාවක්ම සම්මානයට පාත්‍ර වූවාය.

ජීවත් වූ විසි හත් වසර තුළදී එමී හිමි කරගත් දේ හා අහිමි කගත් දේ අපමණ ය. යස ඉසුරු, කීර්තිය සහ ආකර්ෂණය ඇය වෙත ඇදී ආවේ නිරායාසයෙනි. එහෙත්, අනාරාධිතවම පැමිණි අවාසනාව සමඟ බැඳි චෝදනා, හැල හැප්පීම් එමී ගේ අනාගතයට රතු එළි දැල් වීය. විනෝ නම් සුරතල් නාමයෙන් හැඳින් වූ එමී තවදුරටත් සුරතල් දැරියක නොවූවාය. මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වුණු ඇයට කිහිප වරක්ම සිර දඬුවම් විඳීමට සිදු වුණි. ඇය කොකේන් සහ හෙරොයින් හඳුනා ගත්තේ Blake Fielder-Civil නම් තරුණයාගෙනි. 2007 වසරේදී ඔහු හා අතිනත ගත් එමී නිතරම ජීවත්වුණේ මතින් බිහි වුණු මායා ලොවක ය.

එම විවාහය ආරම්භයේ පටන්ම ඉරි තැලීම්වලින් ගහන විය. එළිමහනේ, සමාජ ශාලාවල සහ සංදර්ශනවල ඔවුන්ගේ අසෝබන හැසිරීම් නිතරම දක්නට ලැබිණි. ප්‍රසිද්ධියේ දබර කර ගන්නා එමී – ෆීල්ඩර් යුවළ සාමාන්‍ය දසුනක් පමණක් විය. මේ තරුණ යුවළ කෙතරම් මතට ඇබ්බැහි වූයේ ද යත් ස්ව හිංසාකාරී මට්ටම තෙක් ඇද වැටී තිබිණි. ලෝකයක් ඉදිරියේ නාටක සංදර්ශන පාමින් ගත කළ මේ යුග දිවියට නැවතීමේ තිත තැබුණේ 2009 වසර්දීය. එමීට එරෙහිව අනාචාර චෝදනා නැගූ ෆීල්ඩර් හට දික්කසාදය හිමි විය. ෆීල්ඩර් මාසයක් ගත වන්නට පළමුව තවත් තරුණියකට පෙම පිදුවේ පැකිළීමකින් තොරවය.

මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පමණක් නොව මානසික අවපීඩනය ද එමී ගේ පසුපසින්ම විය. අක්‍රමවත් ආහාර රටාවෙන් ශාරීරිකව දුර්වල වූ ඇගේ තුරුණු වියට නොගැළපෙන කෙසඟ සිරුර රසිකයන් හට අප්‍රසන්න බවක් ගෙන දුනි. ග්‍රැමි සම්මානලාභී ගායිකාව විටෙක වේදිකාවෙන් බැස ගියේ නරඹන්නන්ගේ හූ හඬ මධ්‍යයේය. වේදිකාව මත වැළපෙන, ගී පද අමතකව අපහසුතාවට ලක් වන, නරඹන්නන්ට පහර දෙන, ශාප කරමින් බැණ වදින එමී වයින්හවුස් පැපරාසින්ගේ හොඳම ගොදුර විය. අවසානයේදී ඇය පැපරාසින්ට එරෙහිව උසාවි තහනම් නියෝගයක් ද ලබා ගත්තේ මේ අනවශ්‍ය ආකාරයේ වාර්තා කිරීම් මග හැරීමටය. ඇයට මීටර් සියයක් දුර තුළ ඇගේ ඡායාරූප ගැනීම පවා තහනම් කෙරිණ. එහෙත්, තමන්ගේ පෞද්ගලිකත්වය රැක ගැනීමට තරම් සංයමයක් හෝ ආත්ම දමනයක් නොතිබූ එමී ගේ සැබෑ ජීවිතය ලෝකයට හෙළිදරව් වීම වළක්වා ගැනීමට නොහැකි විය.

එමී, වරෙක බිල්බෝඩ් ගීත දර්ශකය අතික්‍රමණය කළාය. ග්‍රැමි සම්මාන ඉතිහාසය නව මඟකට යොමු කළාය. MTV ගීත දර්ශකය උඩු යටිකුරු කළාය. වරක් ඇය ජනකාන්ත චරිත තේරීමේ දී බ්‍රිතාන්‍යයේ පළමු තිදෙනා අතරට ඒමට ද සමත් වූවාය. නමුදු නොසැලෙන අවාසනාව ද ඒ හා සමානවම ප්‍රතික්‍රියා දැක් වීය. බ්‍රිතාන්‍ය වැසියන් දැකීමට අප්‍රිය කරන චරිත අතර දෙවැනි ස්ථානය ඇයට හිමිවිය. විසුළුසහගත ඇඳුම් මෝස්තරකාරියන් අතර ද ඇය දෙවැනියා විය. එපමණක් නොව ග්‍රැමි සම්මාන උළෙලට සහභාගීවීම පිණිස අමෙරිකාවට පිවිසීමට ද ඒමී හට බාධා එල්ල විණි. බොහෝ බාධක මැද වීසා සකස් කර ගත් නමුත් ඇයට උළෙල පිනවන්නට වූයේ ලන්ඩනයේ සිට ය. දුරස්ත තාක්ෂණය හරහා ඇය ලන්ඩනයේ සිට සම්මාන උළෙල වර්ණවත් කළ අතර, ඒ කිසිදු අහිමිවීමක් පාඩමකට ගන්නා බවක් නොපෙණිනි.

මරණයෙන් පසු ද එමී පිළිගන්නට බොහෝ දෙනෙකු සිටිති. එහා ලොවේ සිට දෑස් දල්වා බලා සිටින ඔවුන් හඳුන් වන්නේ ‘විසි හතේ සමාජය’ හෙවත් 27 Club ලෙසයි. ලොව පුරා බොහෝ තුරුණු කලාකරුවන් තම ජීවිතයේ අගය නොදැන මරු තුරුළට ගොස් ඇත්තේ අවුරුදු විසි හතේදීය. ඒමී වයින්හවුස් එම සමාජයට එක් වූ අලුත්ම සාමාජිකාවය. ජීවිතයේ අගය නොදත්, තමාගේ වටිනාකම හඳුනා නොගත් මුරණ්ඩු පිරිසක් අතර මේ කෙළිලොල් හිතුවක්කාර තරුණියට ද ඉඩක් වෙන් වී ඇත.

කරන්නට බොහෝ දෑ තිබියදී විඩාපත්ව අනාගත ගමන අතහැර දැමූ ඒමී ඔවුන් තුරුලේ හිඳ මේ ලෝකය දෙසත් තමා මගහැර ආ ගමන්මග දෙස බලා සිටින බව නිසැකය.

උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග