රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ හිස් කරලා

විශාල විදුලි අර්බුදයක් රට තුල උද්ගත වී ඇති මොහොතක ජල විදුලිය සපයා ගැනීමට තිබුණු රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය හොර රහසේ මුදා හැර ඇති බවට දිවයින පුවත්පත වාර්තා කරයි.

එසේම ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව
මෙම කුමන්ත්‍රණය පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද වාර්තා කර ඇත.

රටට විදුලිය සපයා ගැනීමට පැවති එම ජලය එසේ හොර පාරෙන් නිකරුණේ මුදාහැරීම හේතුවෙන් එදින ජාතික විදුලිබල පද්ධතියට පෞද්ගලික තාප විදුලි බලාගාර දෙකකින් විදුලිය මිල දී ගැනීමට සිදුව ඇති බවත් එම පෞද්ගලික විදුලි බලාගාරවලට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 162ක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ පරිශ්‍රයට ගොස් නිරීක්ෂණ කරමින් එම ජලාශය භාර නිලධාරීන් 17 දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පැවසේ.

පසුගිය 08 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට පසුදින (09) සවස 2.00 දක්වා මෙය සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලදී හෙළිව ඇතැයි ද වාර්තා වේ.

ටර්බයින් මඟින් විදුලි උත්පාදනයක් නොකර ගොවිබිම්වලට ජලය නිකුත් කරන ඇළ මාර්ගයක් ඔස්සේ ජලය නිකරුණේ මුදාහැර ඇති බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අනාවරණය වී තිබේ.

Social Sharing
නවතම