රනිල් වික්‍රමසිංහ : ගෝඨාභයගේ හොඳම මාධ්‍ය ප්‍රකාශක

-කේ. සංජීව-

ගෝඨා ගෝ හෝම් කියලා මිනිස්සු පාරට බැස්සේ නිකමට ගෙවල්වලට වෙලා ඉන්න බැරිකමට නෙවෙයි, මෙතෙක් ගතකරපු සුවපහසු ජීවිතය ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය විසින් අවසන් කරපු නිසා. මිනිස්සුන්ට උයන් කන්න ගෑස් නැතිවුණ නිසා. තෙල් පෝලිම්වල දවස ගතකරන්න සිද්ධවුණ නිසා. ආහාර අර්බුදයක් ඉස්සරහට එනවා කියලා දසතින් ඝෝෂාවක් නැඟුන නිසා. ජනතාව ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පවුලේ සැම බිත්තියට හේත්තු කළාම රනිල් වික්‍රමසිංහ පස්ස දොරෙන් ගිහිං අගමැතිකම භාරගත්තා. මේ භාර ගැනිල්ල අස්සේ දවසකට හරි ජනාධිපති පුටුවට ගොඩවෙන්න අවස්ථාව දෙනවා කියන එකඟතාවය ඇතිවෙන්න ඇති කියලා හිතෙනවා. කොහොමහරි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බවට රූපාන්ත්‍රනය කළේ වෙන දේකට නෙවෙයි අර්බුදය ගැන ඇත්ත තොරතුරු ජනතාවට කියලා ජනතාවට සමහන් දෙන්න වෙන්න පුලුවන්.

සරළවම කිව්වොත් අද රනිල් වික්‍රමසිංහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක භූමිකාව. මම හිතන්නේ කින්ස්ලී ට වඩා හොඳට රනිල් මේ වෙනකොට ඒක රනිල් කරමින් ඉන්නවා. අගමැති වුණාට පස්සේ රනිල් පාර්ලිමේන්තුවේදි කරපු ප්‍රකාශ ටික එකපෙළට අරගෙන කියෙව්වොත් අපි හැවෝටම මම මේ කියන කතාව තේරෙන්න ඕනෑ. මිනිහා සතියෙන් සතිය ඊළඟ සතිය අමාරුයි කියලා පටි තද කරගන්න කියලා අපිට සන්නිවේදනය කරමින් ඉන්නවා.

කවුරුහරි කියනවා නම් රනිල් වික්‍රමසිංහ ආවේ නැත්තං IMF නොඑන්න තිබුණා කියලා ඒක අමු බොරුවක්. රනිල් වික්‍රමසිංහ ඩොලර් බිලියන 8ක බලාපොරොත්තුවක් දෙමින් තමයි අගමැති පුටුවට එන්නේ. ගොඩක් දෙනෙක් බලාගෙන හිටියා රනිල් ආපු ගමන් ඇමරිකාව යුරෝපේ ජපානේ අපිට ණය දෙයි අපේ විදෙස් සංචිතය වැඩිවෙයි ඊට පස්සේ අපේ ඩොලර් අර්බුදය විසඳෙයි කියලා. ඒ සිහින දැකීම එක්ක මිනිස්සු අරගලයෙන් ඈත් වුණා. අරගලයෙන් ඈත් වුණේ රනිල් වික්‍රමසිංහ මේක වෙනස් කරාවි කියලා බලාපොරොත්තුව එක්ක. ඒත් අඩුම මේ වෙනකොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදාගන්න 21 සංශෝධනය ගේන්න වගේ මූලික දේවල් පවා කරගන්න බැරුව මිනිහා අසමත් වෙලා. ඒකට හේතුව මිනිහගේ නොහැකියාව නෙවෙයි මිනිහා ආවේ වෙන වැඩකට වීම තමයි ඒකට හේතුව. මිනිහා ආවේ රාජපක්ෂලාට ආරක්ෂිතව පිටවීම සඳහා දොරටුවක් නිර්මානය කරගන්න.

රනිල් වික්‍රමසිංහගේ කුරුඳුවත්තේ දේශපාලනයට වඩා මැදමුලනේ කුරහන්සාටක දේශපාලනය දියුණුයි කියලා රනිල් වික්‍රමසිංහට තේරෙන්න තව කල් යයි මහිතේ. රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා නෑදෑයෝ වුණාට රාජපක්ෂ දේශපාලනයට උරුම සටකපටකම රනිල් වික්‍රමසිංහට නෑ. ධම්මික පෙරේරා කියන කසල වියාපාරිකයා එන්නේ රාජපක්ෂලාගේ දීර්ඝකාලීන බලාපොරොත්තුවේ ප්‍රථිපලය විදිහට. තව අවුරුදු 10කින් නාමල් රාජපක්ෂ මේ රටේ නායකයා කිරීමේ සිහිනය ජයගන්න පුලුවන් මේ අර්බුදය අස්සේ ධම්මික පෙරේරා වගේ පවුලට හිතවත් පූස් පැටියෙක් ඊළඟ රාජ්‍ය පාලකයා කිරීමෙන් විතරයි. ඒකට ධම්මික පෙරේරා අගමැති කිරීම අවශ්‍යයි කියලා රාජපක්ෂ පවුලට හිතුනොත් ඔවුන් ඒ දේශපාලන තීරණය ගන්න පසුබාන එකක් නෑ. ධම්මික පෙරේරට තමන් අතේ තියෙන රුපියල් ටිකක් එහෙට මෙහෙට වීසිකරලා ඒක අවශ්‍ය පසුබිම පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම අස්සේ හදාගන්න එකත් ඒ තරම් අවුලක් වෙන්න විදිහක් නෑ.

කොහොමවුණත් ඊයේ (22) රනිල් වික්‍රමසිංහ කියන මාධ්‍ය ප්‍රකාශකයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා ලෝකයේ කිසිම ආයතනක් අද වන විට ශ්‍රී ලංකාවට ණයට ඉන්ධන ලබා දෙන්නේ නෑ කියලා. ඒකට හේතුව කියලා මිනිහා ප්‍රකාශ කරන්නේ තෙල් සංස්ථාව දැනටමත් ඩොලර් මිලියන 700ක් ණයවී තිබීම. දැනට ලංකාවට ඉන්ධන වලට ඩොලර් මිලියන 550ක් අවශ්‍ය මාසිකව වැය වන බව කියන රනිල් වික්‍රමසිංහ ඒ මුදල හොයාගන්න අපහසුයි කියලත් කියනවා. මෙහෙම කියලා අන්තිමට මිනිහා කියන්නේ ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන් විසඳීමට තවත් ටික කාලයක් ‍යයි ඒ නිසා ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චිකරන්න කියලා. මේ කතා සේරම ඇත්ත තමයි. ඒත් මේ ඇත්ත දවසින් දවස රනිල් වික්‍රමසිංහගෙන් අසා දැනගන්නද දැන් ජනතාවට අවශ්‍යය. දැනට ශ්‍රී ලංකාවට ඉතිරි වී ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම විතරයි කියලා තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. අනේ මන්දා මේවා අපි දැනගෙන දැන් ගොඩක් කල්. ඉන්දියාවට අපිට දිගින් දිගටම ණය දෙන්න බෑ කියන එකත් අපි දන්න ඇත්තක්.

අද වෙනකොට විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරලා. ඊයේ (22) හිරුණිකා ඇතුලු පි‍රිසක් රනිල් වික්‍රමසිංහගේ ගෙදර වටලලා උද්ඝෝෂණයක හිටියා අපි දැක්කා. ඒ අස්සේ අරගලයේ හිටි තරුණ සමාජ ක්‍රියාකාරිකයන් රැසක් අනීතිකව සිරගතකරලා තිබෙනවා කියන කාරණය සමාජය තුළ කතාබහට ලක්වෙමින් තිබෙනවා. දිනෙන් දින ආර්ථික අර්බුදය උත්සන්න වෙනවා. මේ සියලු තත්ත්වයන් හමුවේ රනිල් වික්‍රමසිංහට තව කොතරම් කාලයක් ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක විදිහට වැඩකරන්න ඇහැක් වෙයි ද කියලා කියන්න මම නම් දන්නේ නෑ.

Social Sharing
පුවත් විශේෂාංග