රුසියාව චන්ද්‍රිකා අවි අත්හදා බැලීමක – අමෙරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් චෝදනා

අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා ඉලක්ක කොට පහරදිය හැකි අවියක් විය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලන ලද බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කරති.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ”රුසියාව විසින් මෑතදී අභ්‍යවකාශ චන්ද්‍රිකා නාශක මිසයිලයක් වියහැකි අවියක් අත්හදා බැලීම” කණගාටුවට කරුණක් බව සඳහන් කර ඇත.

ඉන්පෙර ප්‍රකාශයක් කළ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා තිබුණේ, තම අභ්‍යවකාශ උපකරණ පරීක්ෂා කිරීමට යොදා ගනු ලබන නව තාක්ෂණය සියරට විසින් භාවිතයට ගනු ලැබූ බවය.

රුසියාවේ නව චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය මින් පෙරත් මැසිවිලි නගා තිබිණි.

එහෙත් රුසියාවේ මෙවැනි අභ්‍යවකාශ අවි අත්හදා බැලීමක් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය චෝදනා කරන පළමු වතාව මෙය ය.

ජාත්‍යන්තර ආරක්ෂාව සහ අවි පාලනය පිළිබඳ සහකාර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝපර් ෆෝර්ඩ් බ්‍රහස්පතින්දා (ජූලි 23) ප්‍රකාශයක් කරමින්, ”අවි ආයුධ අභ්‍යවකාශය කරා ව්‍යාප්ත කිරීමට තමන්ට අවශ්‍ය නොකරන” බව රුසියාව කලින් ප්‍රකාශ කොට තිබියදී ඊට පටහැනිව යමින් ඉහත කී ආකාරයේ අවි අත්හදා බැලීමක යෙදීම ”කුහක ක්‍රියාවක්” ලෙස චෝදනා කළේය.

”ඔවුන්ගේ ප්‍රතිප්‍රහාරාත්මක අභ්‍යවකාශ ව්‍යාපෘතිය නතර කිරීමේ කිසිදු අභිලාශයක් රුසියාවට පැහැදිලිවම නොමැති අතරවාරයේ ඔවුන්ගේ අවශ්‍යතාව එක්සත් ජනපදයේ ශක්‍යතාව කෙරෙහි තහංචි දැමීම බව ද සහකාර ඇමෙරිකානු රාජ්‍යලේකම් ක්‍රිස්ටෝපර් ෆෝර්ඩ් පවසයි.

මේ අතර එක්සත් රාජධානියේ අභ්‍යවකාශ පාලන අධිකාරියේ ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් හාර්වි ස්මිත් (Harvey Smyth) ප්‍රකාශයක් කරමින්, රුසියාවේ නවතම චන්ද්‍රිකා අත්හදා බැලීම සිය කනස්සල්ලට හේතු වූ බව කියාසිටියේය.

රුසියාව විසින් සිදු කරනු ලැබ තිබෙන්නේ ”අවි ආයුධ අත්හදා බැලීමක්” බව ද එයාර් වයිස් මාර්ෂල් හාර්වි ස්මිත් පැවසීය.

” මෙවැනි ක්‍රියාවන් අභ්‍යවකාශය සාමකාමී අරමුණු සඳහා උපයෝගී කරගැනීමේ අභිප්‍රායට තර්ජනයක් වෙන හැඩක් පවතිනවා. ඒ වගේම එමගින් අභ්‍යාවකාශයට එක්වන සුන්බුන් එහි රඳවනු ලැබ ඇති චන්ද්‍රිකාවලට (satellites) සහ ලෝකයේ පැවැත්මට හේතුවෙන අභ්‍යවකාශ රටාවන්ට අනතුරක්” එයාර් වයිස් මාර්ෂල් හාර්වි ස්මිත් වැඩිදුරටත් සඳහන් කළේය.

”එවැනි අත්හදා බැලීම් නැවතත් සිදුකිරීමෙන් වළකින ලෙස සහ ”වගකීමෙන්” කටයතු කරන ලෙස ඔහු රුසියාවෙන් ඉල්ලීමක් ද කළේය.

ඉහළ අභ්‍යවකාශයේ ක්‍රියාත්මක කෙරෙන සියලු ආකාරයේ ගවේෂණ පැහැදිලි ලෙසම සාමකාමී අරමුණු සඳහා වියයුතු බව දැක්වෙන කොන්දේසිය ඇතුළත් අභ්‍යවකාශ ගිවිසුමකින් රුසියාව, එක්සත් රාජධානිය , ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය ඇතුළු සියයකට අධික රටවල් බැඳී ඇත.

”අවි ආයුධ ඉහළ අභ්‍යවකාශයේ තැන්පත් නොකළ යුතුය” යන්න එම ගිවිසුමට ඇතුළත් තවත් කොන්දේසියකි.

රුසියාව විසින් අත්හදා බලනු ලැබ ඇති චන්ද්‍රිකා පද්ධතිය ඇමෙරිකානු චන්ද්‍රිකාවක් කරා ශූර ලෙස සමීප වූ බවට එක්සත් ජනපදය 2018 සහ මේවසර මුලදී මැසිවිලි නැගීමට හේතු වූ රුසියානු චන්ද්‍රිකාවට සමාන වූවක් බව ද ඇමෙරිකාව පවසයි.

”රුසියාව අභ්‍යවකාශයේ සිට චන්ද්‍රිකා නාශක අවි අත්හදාබැලීමක් සිදුකරනු ලැබ තිබෙනවා” යැයි රුසියාවේ අලුත්ම අභ්‍යවකාශ ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වන එක්සත් ජනපද අභ්‍යවකාශ අණදෙන අංශයේ ප්‍රධානී ජෙනරාල් ජේ රේමන්ඩ් (Gen Jay Raymond) පවසයි.

”රුසියාව අභ්‍යවකාශය පදනම් කරගත් අවි ආයුධ නිර්මාණය කිරීම සහ ඒවා අත්හදා බැලීම දිගටම ක්‍රියාත්මක කරන බවට මෙය තවත් සාක්ෂියක්. එය එක්සත් ජනපදයේ සහ මිතුරු රටවල අභ්‍යවකාශ සම්පත් අනතුරේ හෙළීමට හේතුවෙන පරිදි අභ්‍යවකාශයේ අවි රැඳවීම සඳහා ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති යුදමය මූලධර්මය මත ඔවුන් දිගටම එල්බ සිටීමක්” ජෙනරාල් ජේ රේමන්ඩ් වැඩිදුරටත් පැවසීය.

ඉහත සඳහන් කරන ලද චන්ද්‍රිකා අවි අත්හදා ලැබීම රුසියානු අභ්‍යවකාශ ක්‍රියාකාරිත්වයට අදාළ රටාවේ එක් කොටසක් යයි ඇමෙරිකාව කියා සිටින බව ආරක්ෂක තොරතුරු පිළිබඳ බීබීසී වාර්තාකරු ජොනතන් මාර්කස් පවසයි. රුසියානු චන්ද්‍රිකා දෙකක් ඇමෙරිකානු චන්ද්‍රිකාවකට සමීප වූ බවක් පසුගිය පෙබරවාරි මාසයේ එක්සත් ජනපද යුද හමුදාව කියා ඇති බවත් බීබීසී වාර්තාකරු සඳහන් කරයි. එසේම රුසියාව පසුගිය අප්‍රේල් මාසයේ ගොඩබිම සිට චන්ද්‍රිකා බාධක නිර්මාණයක් අත්හදා බලනු ලැබ ඇත.

පසුගිය දශක කිහිපය තුළ චන්ද්‍රිකා නාශක ශක්තිය ප්‍රදර්ශනය කළ රටවල් ඇත්තේ හතරක් පමණි. එනම් රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය , චීනය සහ ඉන්දියාවයි. චන්ද්‍රිකා නාශක බෝම්බ අභ්‍යවකාශය කරා ගෙන යනු ලබන්නේ ගුවන්යානා හෝ රොකට් මගිනි.

ලේසර් මගින් චන්ද්‍රිකා ආලෝක කළ හැකි නමුත් මොස්කව් පාලනය පැහැදිලි ලෙසම අවධානය යොමුකරනු ලබන්නේ එක් චන්ද්‍රිකාවක් තවත් චන්ද්‍රිකාවක් විනාශ කර දැමීම සඳහාය. එවැනි අවි නිර්මාණය නිසා ඔත්තු බැලීම ,පණිවුඩ හුවමාරුව, මග පෙන්වීම සහ කල්තබා අනතුරු ඇඟවීම ආදියෙන් ඔබ්බට චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගීකර ගැනීමක් වේ.

ආරක්ෂක තොරතුරු පිළිබඳ බීබීසී වාර්තාකරු ජොනතන් මාර්කස් පෙන්වා දෙන පරිදි රටවල් ගණනාවක් යම්කිසි ගිවිසුමක අවශ්‍යතාව පිළිබඳව තර්ක කරමින් ඇතත්, එවැනි අවි සීමාකිරීමේ ගිවිසුමක් තවමත් නොමැත.

අභ්‍යවකාශය පදනම් කරගත් ඔවුනොවුන්ගේ අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග රැකගැනීමේ විධික්‍රමයක් වශයෙන් ආරක්ෂාකාරී සහ ආක්‍රමණශීලී යන දෙයාකාරයටම සන්නද්ධ අංශවල විශේෂ අණදෙන අංශ සංවිධානය කිරීමට රටවල් කිහිපයක් කටයුතු කිරීමත් සමඟ යුදමය අර්ථයෙන් ගත්විට අභ්‍යවකාශය දැනටමත් යුද පිටියක තත්ත්වයට හැරී ඇති බව බීබීසී වාර්තාකරු ජොනතන් මාර්කස් පවසයි.

රුසියාව කියන්නේ කුමක්ද ?

අලුත් රුසියානු මිසයිල අත්හදා බැලීම ක්‍රියාත්මක කළ ජූලි 15 වෙනිදා ප්‍රකාශයක් කළ එරට ආරක්ෂක අමාත්‍යංශය කියාසිටියේ එහි අරමුණ තම අභ්‍යවකාශ උපකරණයන්හි ක්‍රියාකාරිත්වය විමර්ශනය කර බැලීමක් වන බවය.

”නවතම අභ්‍යවකාශ තාක්ෂණය අත්හදා බලද්දී කුඩා අභ්‍යවකාශ යානාවක තැන්පත් කරන ලද සූක්‍ෂම උපකරණයක් උපයෝගීකර ගනිමින් අපේ චන්ද්‍රිකාවක් පරීක්ෂා කරනු ලැබිණි” රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශයක් උපුටා දක්වන ‘ඉන්ටර්ෆැක්ස්’ පුවත් සේවය වාර්තා කළේය.

”එම උපකරණයේ තාක්ෂණික ශක්‍යතාවට අදාළ වටිනා තොරතුරු පරීක්ෂණ මට්ටමේ පවතින” බව සඳහන් කර තිබිණැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

උපුටා ගැනීම බීබීසී සිංහල

Social Sharing
විදෙස්