රයිනෝසරයන් හීලෑ කළ රානොසයා : චාමින්ද රාජකරුණා

රාජ්‍ය නොවන සංවිධාන හෝ සිවිල් සමාජ සංවිධාන හෝ ඒ ආදී නම්වලින් කියැවෙන ක්ෂේත්‍රයේ බහුල ව ඉන්නේ කර්කශ හෝ කෛරාටික චරිත ය. මේ දෙකොට්ටාශය ම රාජ්‍ය ක්ෂේත්‍රය සමග අදහස් හුවමාරු කර ගැනීමේ දී එක්කෝ අං පටලවා ගනිති; එසේත් නැත්නම් මනා ව අනා ගනිති. ප්‍රතිඵලය වන්නේ අදාළ කාර්ය රාජ්‍ය ක්ෂේත්‍රය සමග කර ගැනුම සපුරා අසමත් වීම යි. මැදහත් හා සුමුදු චරිත රානොස ක්ෂේත්‍රයේ අල්ප ය. ඒ ස්වල්ප දෙනා අතර සිටි කෙනෙකි අකාලයේ මිය පරලොව ගිය චාමින්ද රාජකරුණා.

රානොස නියාමනය කරන කුප්‍රකට ඇන්ජීයෝ සෙක්‍රටේරිටය, විශේෂයෙන් එහි ප්‍රධානියා, පසු ගිය වසර කිහිපය තුල තම කාර්ය භාරය පමණට වඩා ‘උනන්දුවකින්’ කරනට තැත් කළ නිසා රානොස ක්ෂේත්‍රය දැඩි පීඩනයකට ලක් විය. මේ තත්ත්වය සමනය කර ගැනුමට විසඳුම් සෙවුම උදෙසා පැවැති සාකච්චා මාලා ගණනාවක ප්‍රතිඵලයක ලෙස අප කිහිප දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩාමක යට කී උනන්දු පරිපාලකයා හමුවට යාමට යෝජනා විය. එහි දී නිරායාසයෙන් අපගේ සන්නිවේදන නියෝජිතයා යෝජනා වුණේ චාමින්ද ය.

දරුණු ලෙස කුලප්පු වූ රයිනෝසරයෙකුට වුව ද ‘හලෝ මල්ලී’ කියා අමතා, හීලෑ කර ගැනීමේ විරල හැකියාවක් චාමින්ද ට තිබිණ. බොහෝ විට අවසානයේ සිදු වන්නේ චාමින්ද රයිනෝසර මල්ලියාගේ මොල්ලියට තට්ටුවක් දමා ‘ලෙට්ස් කීප් ඉන් ටච්, මචං’ කීමෙන් ය. ප්‍රතිමල්ලවයා සමග ගැටෙනු වෙනුවට යාප්පුවෙන් එන්ගේජ් වීම ය චාමින්දගේ කේන්ද්‍රීය කුසලතාව වූයේ. එය එක්තරා තාක්ෂණයක ද වේ.

මේ කුසලතාවට හා තාක්ෂණයට සරිලන පුද්ගල චරිත ලක්ෂණ කිහිපයක් ද චාමින්ද තිබිණ. ඔහු සරල මනුස්සයෙකි. පොඩි ‘බබා’ ගතියක් ද ඇත. ඔහු කතා කරන්නේ ආරෝපණය කරගත් ව්‍යාජ ගාම්භීර ගතියකින් නොව සරල ව ය. ඔහුගේ සන්නිවේදනයේ අවංක නොහොත් ජෙනුයින් ගතියක් ඇති බව පෙණේ. නිතර ම ඉන්නේ සිනහ මුසු වතකිණි. අන්තර්ගතය ට දෙන වැදගත් කමට සමාන වැදගත්කමක් චාමින්ද සම්බන්ධතාවයට දෙයි.

චාමින්දගේ බාහිර පෙනුම ටිපිකල රානොස අච්චුවෙන් වෙනස් වෙයි. රානොස උප සංස්කෘතියේ ප්‍රධාන වස්ත්‍රයක වන කුරුතා කඩමාළු චාමින්ද අඳින්නේ නැති තරම් ය. හොඳට මැදපු ඇත දිග කමිසයක්, ඊට ගැලපෙන කලිසමක් හා දිස්නය සහිත බෙල්ටරය්ක් හා සපත්තු ජෝඩුවකින් සැරැසෙන චාමින්ද ට හොඳ ටයි -පටි එකතුවක් ඇත. සෙසු රානොසයින් මෙන් චාමින්ද උරය හරහා හරහා සාගත මල්ලක් එල්ලාගෙන එන්නේ නැත. ඒ වෙනුවට ඔහු තම අයි-පෑඩය හෝ මැක්-බුකය ජේත්තුවට රැගෙන එයි. මේ කාරනා නිසා චාමින්දගේ පොඩි පහේ ‘කො(ර්)පොරේට්’ පාටක් ද තිබිණ. එක්තරා ලෙසකට එය තම ඩිප්ලොමැටික භූමිකාවට යම් පිටිවහලක් ද වී යැයි සිතිය හැකි ය.

චාමින්දගෙන් පසු මේ හිඩැස පිරවීම පහසු නොවේ. ඒ ගැන සිතනු මොහොතකට නවතා, ඔහුගේ පවුලේ සාමාජිකයින්ට හා සර්වෝදය පවුලට අපගේ සාතිශය ශෝකය මින් පිරිනැමේ. සොඳුරු සුහදය, ඔබ අප සමග සිටි කාලය මතකයේ සදා රැඳෙනු ඇත.

උදාන් ප්‍රනාන්දු

Social Sharing
නවතම විශේෂාංග