ආනයනික භාණ්ඩවල බදු ඉහලට

HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද (ජූනි 1) සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, අදාළ භාණ්ඩ සඳහා අය කෙරෙන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ළෙස ඉහළ දමමිනි

ඒ අනුව යෝගට්, චීස්, මිදි, ඇපල් ඇතුළු ආනයනික ආහාර වර්ග රැසක ම බදු ඉහළ නැංවෙනු ඇත.

2022 මාර්තු 09 වනදා HS කේත 369ක් යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ආනයන බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කරමින් ආනයන සහ අපනයන පාලන රෙගුලාසි පනත යටතේ ගැසට් නිවේදනයක් පත්‍රයක් නිකුත් කර තිබිණි.

රට තුළ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් එම භාණ්ඩ මෙරටට ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙස එම තීරණය ගෙන තිබිණි.

කෙසේ වෙතත්, අවිධිමත් ක්‍රම හරහා එම භාණ්ඩ දිගින් දිගට ම මෙරටට ආනයනය කරන බව පෙනී යාම හේතුවෙන් ආනයන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර තිබූ HS කේත 369 යටතේ ආනයනය කරන භාණ්ඩ අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන බලපත්‍රයකින් තොරව ආනයනය කිරීමට අවසර ලබා දීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, යෝගට් ආනයනයේදී කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 1,000ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයට රුපියල් 2,000 දක්වා ඉහළ දමා ඇත.

සියලු ම වර්ගවල චීස් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 400ක විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 600 දක්වා ඉහළ දමා තිබේ.

දොඩම් ආනයනයේදී කිලෝග්‍රෑමයට රුපියල් 200ක්ව තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600ක් දක්වා ඉහළ නැංවීමට ද මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මිදි සහ ඇපල් ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ද ඉහළ දමා ඇති අතර එය රුපියල් 300සිට රුපියල් 600 දක්වා වැඩි වීමකි.

තව ද තිරිඟු පිටි ආනයනයේදී රේගු බදු මත පනවන අධිභාර ප්‍රතිශතය ලෙස සියයට 75ක අධිභාරයක් පැනවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත.

චොකලට් සහ කොකෝවා ආනයනයේදී සියයට 50ක අධිභාර ප්‍රතිශතයක් අය කර ගැනීමට නියමිත ය.
බියර්, වයින්, විස්කි, වොඩ්කා ඇතුළු විදේශීය මත්පැන් සඳහා රේගු බදු මත පනවන අධිභාරය 100%ක් දක්වා ඉහළ දමා තිබේ.

විදේශීය දුම්වැටි සඳහා ද 100%ක අධිභාරයක් අය කරගන්නා අතර විදේශීය සුවඳ විලවුන් සඳහා සියයට 75ක අධිභාරයක් අයකරගනු ඇති.

විදේශීය ෂැම්පු වර්ග සඳහා සියයට 75%ක අධිභාරයක් පැන වෙයි.

මොටර් රථ, යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා ටයර් ආනයනය කිරීමේදී ද රේගු බද්ද මත 50%ක අධිභාරයක් පනවා තිබේ.

විදේශීය පාවහන් සඳහා රේගු බද්ද මත පනවා ඇති අධිභාර ප්‍රතිශතය සියයට 75කි.

ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි උදුන් ආනයනයේදී 100%ක් අධිභාරයක් පනවා ඇත.

වායුසමීකරණ යන්ත්‍ර ආනයනයේදී රේගු බද්ද මත 100%ක අධිභාරයක් අය කර ගන්නා අතර සංගීත භාණ්ඩ ආනයනය කිරීමේදී ද 100%ක අධිභාරයක් පනවා තිබේ.

උපුටා ගැනීම ( මව්බිම )

Social Sharing
නවතම