ශ්‍රීලනිප-රාජපක්ෂ ඩීල් එක නියෝජ්‍ය කතානයක පත් කිරීමෙන් එළියට!

අද (5) දින නියෝජ්‍ය කතානයක පත් කිරීමේ රහස් ඡන්ද විමසීමෙන් ඡන්ද 148ක් ලබාගෙන හිටපු නියෝජ්‍ය කතානයක රංජිත් සියඹලාපිටිය නැවත වරක් නියෝජ්‍ය කතානායක ධුරයට පත්වීම ශ්‍රීලනිප-රාජපක්ෂ තිරයෙන් ඇතුලේ හවුල එළියට නිරාවරණය වීමක් බව කිව යුතුය.

මුලින් සජබ ප්‍රමුඛ විපක්ෂය ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය හට ඡන්දය ලබා දෙන්නට තීරණයක් ගෙන තිබුණත් පසුව රංජිත් සියඹලාපිටියට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද ඡන්දය ලබාදෙන බව ආරංචි වීම නිසා ඔවුන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට තීරණයක් ගෙන ඇත. ඒ අනුව සජබ ඉමිතියාස් බාකිර් මාකර් මන්ත්‍රීවරයා නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් විපක්ෂයෙන් යෝජනා කළේය. ඒ අනුව රහස් ඡන්දය පැවති අතර එහිදී බාකිර් මාකර් මන්ත්‍රීවරයාට ඡන්ද 65ක් ලබා ගන්නට හැකි විය.

148 සහ 65 යන මනාප සංයුතිය දෙස විපක්ෂයේ සිටින මන්ත්‍රී ආසන ගාන සමග බැලීමෙන් රාජපක්ෂවරුන් සහ ස්වාධීනයැයි කියා ගන්නා මන්ත්‍රී කණ්ඩායම අතර පවතින ඩීල් එක හඳුනා ගත හැකිය.

මෙම ස්වාධීන කණ්ඩායම රටට පෙනෙන්නට රාජපක්ෂ විරෝධී උනත් ඔවුන් ඇත්තටම සිටින්නේ රාජපක්ෂවරුන් සමගය. මෙම ඡන්ද විමසීමේ ප්‍රතිපලය ප්‍රකාශයට පත් කළ පසුව අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ තමන් ස්වාධීන පිළ සහ විපක්ෂය නියෝජනය කරමින් මෙම තනතුරට පත්වූ බවය.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩාය රාජපක්ෂවරුන් සමග පවත්වාගෙන යන රහස් සම්බන්ධතාවය මෙම ඡන්දය හරහා එළියට ආ බවය. ඒ අනුව දැන් ජනතාවට මෙම මන්ත්‍රී කණ්ඩායම සිටිනා පැත්ත ගැන අවබෝධයක් ලබාගත හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම නව පත්වීමෙන් ද පෙනෙන්නේ වර්තමාන ජන අරගලය පිළිබඳව පාර්ලිමේන්තුවේ බහුතරය සිතන ආකාරයයි.

Social Sharing
නවතම