|ඔහු වෙනුවෙන් පිළිමයක් නෙලීමට නියමිත නැත |

ඊයෙ වන විට දවස් තුනක් නිරාහාරව අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උපවාසයක නිරත වෙන විමල් අයියා ගැන නො ලියා සිටීමට නො හැකි වන්නේ ඔහු මාගේ මිතුරෙකු වන නිසා ම පමණක් නො ව අරගලය තුළ ඔහු වෙනුවෙන් පිළිමයක් නෙලීමට නියමිත නො මැති නිසා ය.

පෙරේදා දිනයේ ඔහුව බැලීමට අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට (මයිනාගෝගම) යන විට ඔහු සිටියේ ඔහුගේ උපවාසයේ දෙවෙන දිනයේ ය.

“අයියා උපවාසෙ කවදද ඉවර කරන්නෙ? “ඇසූ විට ඔහු ඉතාමත් ශක්තිමත්ව පැවසුවේ “ජයග්‍රහණය එහෙම නැත්නම් මරණය” කියාය. “මැරෙනකං මේක මම කරනවා මල්ලි”. “මට සල්ලි නෑ. මට ලොකු සිවිල් බලයකුත් නැහැ.” “මට මේ වෙලාවෙ දෙන්න පුළුවන් එකම දේ මගෙ මරණෙ විතරයි”. “එතකොටවත් මුන්ට තේරෙයි”. “මේවා මහින්දලගෙ වැරදි නෙමෙයි, මේවා අපේ අම්මලා තාත්තලගෙ වැරදි. මේ පාර මේක වෙනස් කළේ නැත්නම් ආයිත් කවදාවත් චාන්ස් එකක් එන්නෙ නෑ”.

විමල් අයියා මුල් දවසේ සිට අද දක්වා ගොල්ෆේස් හි සිටි මිනිසෙකි. ඔහු කුඩා දරු දෙදෙනකෙුගේ පියෙකි. ඔහුත් මා මෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වුවත් මා හට ඔහුව හමුවන්නේ දේශන වලට දිව යන අය අතර නො වේ. ඔහු බොහෝ විට සිටියේ විශ්ව විද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ පියානෝව ඔබමිනි. සංගීතයට ඔහුට තිබුණේ බලවත් කෑදරකමකි. ඔහු දක්ෂ සංරචකයෙකි. ඔහුගේ සංරචනා දේශපාලනිකය. ඒ බව ඔහුගේ සංරචනාවන් රස විඳි අය දන්නවා ඇත. ඔහු විශ්ව විද්‍යාලය තුළ මෙන්ම පිටතද ඔපෙරා වර්ගයේ නිර්මාණ කිහිපයක් සිදුකළේය. ඔහුට ඒවාට මුදල් තිබුණේ නැත. වාදකයින් විශාල ප්‍රමාණයක් සමග ඔහුට අවශ්‍ය ඝෝෂාව බිහිකිරීමට උත්සාහ කරනු මා ඕනෑ තරම් දැක තිබේ. අවසානයේ තමා අත තිබූ සන්තකයම වාදකයන්ට දී හිස් පසුම්බිය දෙස බලා සිනාසෙනු මා දැක තිබේ. ඔහුට තිබුණේ ප්‍රබල ආත්ම විශ්වාසයකි. එබැවින් කිසිදු ප්‍රශ්නයකදී ඔහු ඔහුගේ සුපුරුදු සිනහව අතහැරියේ නැත.

ඊයේත් ඔහු උපාවසය අතර තුර සිනාසුනේ ය. ඔහු අසල සිටින තරුණයෙක් ඔහුට නිරන්තරයෙන් පවන් සලයි. ඒ තරුණයාව පෙන්වමින් මා හට විමල් අයියා කියා සිටියේ “මේ මල්ලි මට දවස් දෙකක් තිස්සෙ නවත්තන්නෙ නැතුව පවන් ගහනවා”. “හැබැයි මං මේ මල්ලිගෙ නම දන්නෙ නෑ”. “එයා කවුද කියලා මං දන්නෙ නෑ”.” ඒක මාර වැඩක්”. “ඒක හින්දා මට සතුටින් මැරෙන්න පුළුවන්”කියා ය.

ඔහු මොහොතෙන් මොහොත දුර්වල වෙන සැටි මම බලා සිටියෙමි.

“ජය වේවා” කියමින් එම ස්ථානය පසුකර යන වාහන වලින් මුසුවෙන කාබන්මොනොක්සයිඩ් ඔහුව තවත් දුර්වල කරමින් තිබේ. ඔහු සම්පූර්ණයෙන්ම දුර්වල වීමට ප්‍රථම මේ ජරා ජීර්ණ දේශපාලන ක්‍රමය වෙනස් නොවනු ඇත. විමල් අයියේ ඔයාගේ විශ්වාසයට හිතුවක්කාරකමට ජය වේවා! කියා කියන්නට මට නොහැකිය. එසේ නොකියා මොනවා කියන්නද කියා ද මම දන්නේ නැත.

 

චමිල ප්‍රියංක

Social Sharing
නවතම විශේෂාංග