කිරීමට පොරොන්දු වී සිටි බව බොහෝ දෙනා අමතක කරති. බණ්ඩාරනායක කලේ එය පැය විසිහතරක් ඇතුලත කරනවා කියමින් තමන් දෙසට රැල්ලක් ගොඩනැගීමය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකෙන්ම එක ලෙස ඉදිරිපත් වී තිබීමෙන් මෙය මොන තරම් බලවත් සමාජ ඉල්ලීමක්ව තිබුනේ දැයි වටහා ගත හැකිය.
මා බණ්ඩාරනායකව සලකන්නේ ඉතාම අවාසනාවන්ත දේශපාලන ජීවියකු ලෙසය. ඔහු මගේ වීරයකුද නොවේ. ඔහුගේ මුල් කාලීන කියුම් කෙරුම් දෙස බලන විට මට වැටහෙන්නේ ඔහු අවංක ලිබරල්වාදියකු මෙන්ම ෆෙඩරල් වාදියකුද වූ බවය. නමුත් බලය ගොඩනැංවීමේ උපක්‍රමයක් ලෙස සිංහල ජාතිකවාදය දෙසට නැඹුරු වීමට ඔහුට සිදු විය. මගේ පෞද්ගලික විශ්වාසයන් අනුව මේ නැඹුරුවට මා ප්‍රිය කරන්නට ඉඩ තිබුනද බණ්ඩාරනායකට තමන් අවංකව විශ්වාස නොකරන දෙයකට නැඹුරු වීමට සිදු වීම පිලිබඳ මට ඇත්තේ කණගාටුවකි. සිංහල රාජ්‍ය භාෂාව කිරීමට මා සතුටු නමුත් බණ්ඩාරනායකට එය කරන්නට සිදු වීම පිලිබඳ මට සතුටු නැත. ඇත්තෙන්ම එහිදී ඔහුගේ සංඛේතාත්මක මරණය සිදු වුනු බව මගේ හැඟීමයි. බලයට පත් වීමෙන් කෙටි කලක් ඇතුලත ඔහු නැවතත් ෆෙඩරල් අදහස් වලට විවෘත වූ අතර එයින් පසුව ඔහුගේ භෞතික මරණය සිදු විය.
මේ කරුණු කොයි හැටි වෙතත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සැලකිය හැක්කේ ලංකාව නිර්-යටත්විජිතකරණය සඳහා තැබුණු යෝධ පියවරක් ලෙසය. එය හුදු ජනවාර්ගික ආතතියේ කෝණයෙන් බලා විනිශ්චය කරන බොහෝ දෙනකු අමතක කරන කරුණක් නම් ඒ ඓතිහාසික පියවර නොවන්නට ලංකාවේ අවස්ථා බෙදී යාමේ විෂමතාවය තවත් පියවර ගණනාවකින් වැඩි වන්නට ඉඩ තිබුණු බවය. 1965 දී සිදු වුයේ සිංහල කතා කරන ස්වදේශික බලවේග සහ එසේ නොවන බලවේග අතර ඝට්ටනයක් යම් ප්‍රජාතන්ත්‍රීය රාමුවක් තුල සාමකාමී ලෙස සිදු වීමය. එයේ එසේ නොවුනා නම් මේ පීඩනය පුපුරා යන්නට නියමිතව තිබුනේ රුධිර ගංගාවක් මතින් නොවේ යයි කිව හැක්කේ කෙසේද?
අද වන විට සිංහල සහ දෙමළ යන භාෂා ද්වයම රාජ්‍ය භාෂා මට්ටමින් සැලකේ. පනස් හයේ සිංහල රාජ්‍ය භාෂාව කෙරෙන්නේ ඊට වසර පහකට පෙර, එනම් 1951 දී පිහිටවූ රාජ්‍ය භාෂා කොමිසමේ නිර්දේශද සැලකිල්ලට ගනිමිනි. මින් වසර දෙකකට පසු, එනම් 1958 දී අංක 28 දරන දෙමල භාෂාව පිලිබඳ විශේෂ විධිවිධාන පනතෙන්, දෙමළ භාෂාව එකී භාෂාව කතා කරන ජනයා වැඩි වශයෙන් සිටින පළාත් වල අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ආයතන වල භාවිත භාෂාව ලෙසත්, එම ප්‍රදේශ වල පරිපාලන කටයුතු වල ප්‍රධාන භාෂාව ලෙසත් භාවිත කිරීමට අවස්ථාව සැලසිනි. 1972 දී තවත් පියවරක් ඉදිරියට යමින් දෙමල භාෂාව සිංහල භාෂාව හා සමාන මට්ටමක ලා සැලකෙන ලෙස ව්‍යවස්ථානුකූලව විධිවිධාන පැනවුණු අතර 1978 දී එය එය රාජ්‍යයේ නිල භාෂාවක් ලෙස පිළිගැනිණි. 1987 13 වන ව්‍යවස්ථා සංශෝධනයේදී දෙමල භාෂාව සිංහල භාෂාවට සියලු අතින් සමාන රාජ්‍ය භාෂාවක මට්ටමට උසස් කරනු ලැබිණි.
1956 වන විට ලංකාවේ අධ්‍යාපනය තුල තිබුනේ තව දුරටත් පවත්වාගත නොහැකි අන්දමේ විෂම තත්වයකි. මේ විෂම තත්වය යම් විශාල ප්‍රමාණයකට දුරු කිරීමට හැකි වුයේ ඒ වන විට පුළුල් වෙමින් තිබුණු කන්නංගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් සහ ඊට ප්‍රයෝගික මුක්කුවක් සැපයූ රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති වලිනි. සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන් ලංකාව යලි පෑහිය නොහැකි ලෙස බෙදී ගියා යයි කියන බොහෝ දෙනාට ඊට පෙර රටේ පවතී අධ්‍යාපන අවස්ථා බෙදී යාම පිලිබඳ අදහසක් තිබේදැයි යන්න සැක සහිතය. විවිධාකාර මිෂනාරි කණ්ඩායම් විසින් ආරම්භ කරන ලද පාසල් සංඛ්‍යාව සහ ඒවායේ ප්‍රාදේශීය පැතිරීම ආදී කරුණු මෙවන් විනිශ්චයක් කිරීමට පෙර සලකා තිබේද යන්න සැක සහිතය. ස්වදේශික බහුතරයාට සියවසක් මුළුල්ලේ අධ්‍යාපන අවස්ථා සංකෝචනය වී තිබුණු වටපිටාවක ඔවුන් වෙතින් තම භාෂාවට ප්‍රමුඛත්වයක් බලාපොරොත්තු වීම අරුමයක්ද?
එම මොහොතේ එය නොකරා නම් සිදු වන්නේ වර්තමාන ලිබ්බන් කියනාකාරයෙන් අප සියලු දෙනාටම ඉංග්‍රීසි භාෂාව පුළුවන් වී ලෝකය ජයගැනීම නොව, ලංකාවේ ප්‍රභූ නිර්ප්‍රභූ විෂමතාවය තවතවත් අර්බුධයට ගමන් කොට මෙය ඉතා බිහිසුණු ලෙස අයුක්ති සහගත රාජ්‍යයක් බවට පත් වීමයි. අද දවසේ අපගේ අබග්ගයන්ට හේතුව ලෙස සිංහල භාෂාව දකින බොහෝ ග්‍රාමීය ලිබරල් වාදීන් සිහිකොට යුත්තක් නම් ඒ වෙනස නොවුනා නම් මෙලෙස සමාජය ඉදිරියේ කතා කිරීමටවත් ඔවුනට අවස්ථාවක් උදා නොවන බවය. එසේ නම් ඔවුන්ගේ පූර්වජයන් හේන් වල, කුඹුරු වල, මාළු බෝට්ටු වල, පොල් ගස් වල සහ යකඩ තලන කම්මල් වලම ඉතිරි වනු ඇති අතර ඔවුන් මේ වන විට ඒවායේ වැඩ භාරගෙන සිටිනු ඇත. මේ කියන භාෂා විපර්යාසය ලංකාවේ සිදු කල හැකි නොවේ. එසේ කල යුතුද නැත. ස්වදේශික සංස්කෘතීන් සහමුලින් විනාශ වුනු පිලිපීනය හෝ බ්‍රසීලය මෙන් නොව, ලංකාව.
ලංකාවට සමෘද්ධිය උදා කල හැක්කේ ලංකාවේ නාගරික දේශපාලන කතිකාවත් වසාගෙන සිටින ග්‍රාමීයත්වය දුරු කිරීමෙන්. ජාතිකවාදී, වාමාංශික සහ ලිබරල් බේදයක් නොමැතිව මේ බොහෝ දෙනා කරවටක් ග්‍රාමීයත්වයේ ගිලි සිටිති. ඉංග්‍රීසි භාෂාවෙන් සියලු වැඩ කටයුතු කෙරුණු සියවස් එකහමාරක් අප ඉංග්‍රීසීන් යටතේ ගෙවා දැමුවෙමු. ඒ පරිසරය තුල ලංකාවේ සියලු දෙනාට ඉංග්‍රීසි පුළුවන් උනාද? අපි ලොව ජයගත්තාද? මේවා නිකම්ම නිකං බොළඳ නොවටිනා කතාය. ග්‍රාමීය කතාය.
දිනෙත් මල්ලිකාරච්චි