කෝ විපක්ෂයේ නායකයින්?

ඊයේ (30) හවස නිදහස් චතුරස්‍රයෙන් පටන් ගත්ත කලාකරුවන්ගේ විරෝධතා පාගමනට සහභාගී වුණා. ඒක උද්‍යෝගය දල්වන අපේක්ෂාවන් ගැන නැවත වටයකින් හිතන්න අපි අපිවම පොලබවපු ඒ වගේම වර්තමාන අරගලය නෙක පාටින් වර්ණ කරපු ලස්සන මොහොතක්.

සිංහල භාෂාවට සහ දෙමළ භාෂාවට සම අවස්ථාවන් උදාකරන්න වෙහෙසුන මේ පාගමන ජාතික සමගියේ අවශ්‍යතාවය අවධාරණය කිරීම කැපී පෙනුනා. අපි අපිවම ඇතුලතින් වෙනස් කරගමු කියන එක තමයි සාරාර්ථය. පාගමන අවසානයේ බණ්ඩාරණායක ප්‍රතිමාව අබියස ඉදලා උද්ඝෝෂකයින් ජාතික සමගිය ගැන වෙනස් කම් ඇගයීම ගැන වෙනස් කම් පිළිගැනීම ගැන වෙනස් රටක් උදාකරගැනීමේ සිහින ගැන කතා කළා. නදී පීටර් සහ දෙමළ සහෝදරයා මේ අරගලය කුමන දිසාවකට යන්න ඕනිද කියන ඉගි දුන්නා.

මේ පාගමන ඉවර වෙලා නවාතැනට ඇවිත් මම කල්පනා කළා. අපිට ඉන්න විපක්ෂය, මුන් මොක්කුන්ද? කියන දේ තමයි මුලින්ම හිතට ආවේ. අපිට නායකයෝ නෑ කියන එක නැවත වටයකින් මේ ජනතා සටන අපිට කියාදෙනවා. සජිත් ප්‍රේමදාස නුවර ඉඳලා කොළඹ එනගමන් ඉන්නේ. අනුර කුමාර දිසානායක හෙටානිද්දට ෆයිල් එළියට දානවා කියලා කියනව. සුමන්තිරන්ලා ඉන්දියාවේ බල දේශපාලන උවමනාවන් නිසා අරගලයට පස්ස හරවන්න සූදානම් වෙනවා. චම්පික රණවක වගේ නායකයෝ පවා නිසොල්මනේ ඔහේ ඉන්නව. ජනතාව පාරෙ. මහපාරේ සටන මේ නායකයෝ කරට ගන්නේ කවද්ද? එහෙම දවසක් එන්න විදිහක් නෑ. මොකද මේ නායකයන්ගේ ඇගේ නායකත්ව චලනයන් නෑ.

ඒ අස්සේ විමුක්ති කුමාරතුංග නායකයෙක් විදිහට ආනයනය කරන්න යනවා කියලා කතාවකට තටු ලැබිලා. ඇමරිකාවෙන් නායකයෝ ගෙන්නගෙන ව්‍යවස්ථාව පවා වෙනස් කරලා උන්ට බලය දීලා කෙළවාගත්ත අපිට තවම ඇතිවෙලා නෑ වගේ..!

අභියෝග භාර ගන්න මිනිස්සු අභියෝගවලට විරුද්ධව සටන් කරන මිනිස්සු තමයි නායකයෝ වෙන්න ඕනී. රිස්ක් එකක් නැතිනම් අවධානමක් ගන්නේ නැතුව කිසිම හොඳ දෙයක් ලෝකෙට දෙන්න බෑ. මේ අර්බුදය අස්සේ ලංකාව ලෝකයට හරවන්න නම් කාටහරි රිස්ක් එකක් ගන්න වෙනවා. අවධානමක් ගන්න වෙනවා. තමන්ට දේශපාලන අනාගතයක් තියෙනවා කියලා හිතෙනවා නම් ඒක සූදුවට දාන්න වෙනවා. කපන කොළේ වැටෙන්න පුලුවන්. නොවැටෙයි කියලා පිට්ටනියේ හිඳ ගත්තේ නැතොත් මේ මොහොත ඔබට මිස් වෙනවා. මගෑරෙනවා. ඒකයි ඇත්ත.

ඒ නිසා මටනම් දැන් ඔය සජබ ජාජබ 43 වගේ ඒවා ගැන වැඩි විශ්වාසයක් නෑ. ඒ මොකද මේ නායකයන් මේ අරගලය තේරුන් අරගෙන නෑ. මේ අරගලය එක්ක ලෝක දෙකක් හදාගෙන ඉන්නේ. මෙවැනි අරගයක් අස්සේ ඩලස් වගේ කෙනෙක්ගේ නායකත්වයෙන් සිරිසේන වගේ කෙනෙක්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හැදෙනවා කියන්නේ කවුද අසාර්ථක? අසාර්ථක විපක්ෂය නියෝජනය කරන දේශපාලන නායක රොත්ත.

අරගලයේ ප්‍රධානම ඉල්ලීම ගෝඨා ගෝ හෝම් තමයි ඒක අපි කවුරුත් දන්නවා. ඒක කරගන්න නිකං බොරුවට ඒක වරනඟන්නේ නැතුව පාර්ලිමේන්තුවේ පළවෙනි පියවර තියන්න. අන්තර්කාලීන ආණ්ඩුවක් හදලා ව්‍යවස්ථාව වෙනස් කරන්න. 19+ ගේන්න උත්සාහ කරන්න. ජනාධිපති නාමමාත්‍රික කරන්න පාර්ලිමේන්තුවට පුලුවන්. හැබැයි ඒකට විශාල උත්සාහයක් ගන්න අවශ්‍යයි. අරගලයක් අවශ්‍යයි. මුලින්ම පාර්ලිමේන්තුව අරගල භූමියක් කියන එක පිළිගන්න. ඒක කටවාචාලයින්ගේ පිට්ටනිය කියන එක බැහැර කරන්න.

අපි මේවා කොච්චර කීවත් විපක්ෂය මේ වෙලාවෙ ඉන්නේ හොරගල් ඇහිද ඇහිද. බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු අහරවන්න ලේසි නෑ. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි තමන්ගේ දේශපාලන අනාගතය ගැන හිතලා මේ වෙලාවේ බොරුවට නිදාගෙන ඉන්න නායකයන්ට අනාගතයේ මේ රට අස්සේ දේශපාලනයක් නෑ.. ඒකයි ඇත්ත..!!

 

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග