ජනමතය තියෙන්නේ කොහේද?, තමුසෙලා දෙන්නම දන්නේ නෑ..!

ගෝල්ෆේස් සටන ඉල්ලන්නේ මොනාද? ගෝඨා ගෙදර පල, ඒ තමයි පළවෙනි ඉල්ලීම. දෙවෙනි ඉල්ලීම තමයි මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවත් ගෙදර පල කියන එක. තුන්වෙනි එක තමයි උබලා හොරාකාපු සල්ලී දීපියව් කියන එක. මේවගේ ඉල්ලීම් ගොඩක් වටේ අද ලංකාවෙම තරුණයෝ එකතුවෙලා ඉන්නවා. අද අප්‍රේල් 28, මේ ලිපිය ලියන්න ගන්නකොට වෙලාව හවස හතයි කාලයි. මේවෙනකොට අපි දන්නවා අද ක්‍රියාත්මක වුණ වැඩ වර්ජනය අති සාර්ථකයි කියන දේ. කොග්ගල කටුනායක වගේ නිදහස් වෙළඳ කලාපවල තරුණ තරුණියෝ පාරට බැහැලා අද මොකෝ කීවේ? ඔවුන් අද එක හඬින් කීවේ උබලා තව මාසයක් හිටියොත් අපිට රස්සාත් නැතිවෙනවා ඒ නිසා අයියයි මල්ලියි පොහොට්ටු  ආණ්ඩුවයි සේරම ගෙදර පල කියලා. අද ලංකාවේ හැමතැනින්ම ඇහෙන්නේ මේක. හැබැයි මේ හඬ ඇහෙන්නේ නැති මොට්ටපාලයෝ දෙන්නෙක් අපේ විපක්ෂ දේශපාලනයේ ඉන්නවා. කවුද ඒ?

එක්කෙනෙක් තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. අනික් කෙනා තමයි ජාතික ජන බලවේගයේ නායකයා අනුර කුමාර දිසානායක. මේ දෙන්නටම අද ජනතාව එක හඬින් කියනවා මේ ආණ්ඩුව ගෙදර යවලා ආණ්ඩුව ගනිල්ලා ඊටපස්සේ මේ සාටක නාටකය ඉවරකරලා මේ අර්බුදයෙන් රට මුදාගනිල්ලා කියලා. ඒත් මේ දෙන්නගෙන් එකෙක්ටවත් මේක ඇහෙන්නේ නෑ. නැත්තං කනේ ඇබ ගහගෙන.

සජිත් ප්‍රේමදාස කියන්නේ මොකද්ද? මිනිහා කියන්නේ මිනිහට ජන වරමක් නෑ කියලා. 69 ලක්ෂයක් මිනිස්සු ජනාධිපතිට ඡන්දය දුන්නා කියලා. පාර්ලිමේන්තුවේ ආසන 140ට වඩා දුන්නා කියලා. ඔව් ඒවා සේරම හරි අපි ඒවා දන්නවා. එහෙම කියලා මිනිහා පිරිසිදු ජනවරමක් නැතුව ආණ්ඩුව ගන්න කැමති නැතය කියලා තමයි තැනින් තැන රැස්වීම්වල කියවන්නේ. අනුර කුමාර දිසානායකත් මේක වෙන විදිහකට කියනවා. දෙන්නම නොකියා පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලනවා. අහෝ! සල්ලි කෝ? රට ආගාධයටම වැටිලා. ජනතාව කෑගහනවා අපිව හුස්ම හිරවෙන්න කලින් ලණුවක් දාලා හරි උඩට ගන්න කියලා. මේ දෙන්නා ලණුව තියෙද්දී ඉනිමඟක් හොයනවා වළට බහින්න. ඇත්තටම ජනමතය කොහේද තියෙන්නේ?

ජනමතය තියෙන්නේ ගෝල්ෆේස් එකේ. ඒක තමයි ජනමතය. ඊට එහා ජනමතයක් නැහැ. හන්දියක් හන්දියක් ගානේ ඇතිවෙන විරෝධතාවල තමයි ජනමතය තියෙන්නේ. ගෝඨාභය ඕනී කියලා 20ක් පෙළපාලි යනකොට 1000ක් ගෝල්ෆේස් එකේ ගෝඨා ගෙදර පල කියලා කියනවා. ඒක තමයි ජනමතය. ඕනිනම් ඒ අනුපාතය 2/3ද නැත්තං 5/6ක් ද කියලා පක්ෂ නායකයෝ විදිහට සමීක්ෂණයක් කරලා හොයා ගන්න.

ජනමතය තියෙන්නේ ගෝල්ෆේස් එකේ නම් ඒ ජනමතය ඩලස් අගමැති කරන්න කියලා කියන්නේ නෑ. ගෝඨාභය තියාගෙන අගමැති වෙනස් කරන්න කියලා කියන්නේ නෑ. පොහොට්ටු නායකත්වයෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න කියලා කියන්නේ නෑ. ජනමතය කියන්නේ පොහොට්ටුවට ගෙදර යන්න කියලා ජනාධිපති එක්කම. එහෙම කියනකොට පොහොට්ටුවේ යම් නියෝජිතයෙක් ජනතා මතය පැත්තට එනවානම් ඔහුට ඒ හැදෙන ආණ්ඩුව පැත්තට එන්න පුලුවන්, හැබැයි ඒ හැදෙන ආණ්ඩුවේ නායකත්වය ගන්න ඒකේ දිශාව තීරණය කරන්න ඒ නියෝජිතයට අයිතියක් නෑ.

ඒනිසා මේ නායකයෝ දෙන්නම මොකද්ද වර්තමාන ජනමතය කියන දේ තේරුන් ගන්න ඕනෑ. ඒක උරගාලා ගලගාලා දිවගාලා බලන්න දෙයක් නෑ. එහෙම බලන්න තිබුණා ආර්ථික අර්බුදයක් නොතිබුණා නම්. ඒනිසා මේ දෙන්නා දැන් කරන්නේ ඕනී උතුරෙන් දකුණෙන් පාගමන් සංවිධානය කරලා තමන් එක්ක කොච්චර ජනතාවක් ඉන්නවද කියලා මීඩියා සෝ දාන එක නෙවෙයි. පාර්ලිමේන්තුව ඇතුලට කද කෙළින් කරගෙන ගිහිං නායකත්වය අරගෙන මේ අර්බුදයෙන් රට ගොඩගන්න තමන්ට හැකි දේවල් කරන එක.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගානින් මේක මනින්න එපා. මන්ත්‍රී ආසන 40ක් තිබුණත් ජනමතය තියෙන්නේ එතන. ඒකයි ඇත්ත. ඒනිසා නායකයෝ දෙන්නම එකතුවෙලා ආණ්ඩුව ගනිල්ලා. ඇරගෙන මාස හයද දහයද අවුරුදු දෙකද වැඩපිළිවෙල ජනතාවට ඉදිරිපත් කරන්න. රට තියෙන්නේ කොතනද කියලා ඇත්ත කියන්න. රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා කාල රාමුවක් හදලා ඒක ප්‍රසිද්ධ කරන්න. අයි එම් එෆ් එක එක්ක වැඩ කරන්න වෙන්නේ කොහොමද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා රටට ඇත්ත කියන්න. මිනිස්සු ඇත්ත කීවොත් මිනිස්සු දැනුවත් කළොත් රට මේ ආගාධයෙන් ගලවලා ගන්න අමාරු නෑ.

2015 යහපාලනේ එනකොට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණේ නෑ. අනික් පැත්තෙන් වර්තමානයේ තරම් විශාල ජනබලයක් ජනමතයක් ආණ්ඩුවට තිබුණෙත් නෑ. ඒත් දින සීයක් අස්සේ කොච්චර දේශපාලන ප්‍රතිසංස්කරණ කළාද? අඩුපාඩු තිබුනා, ඒක මේ වෙලාවේ උපුටන්නේ ජනමතය තියෙනවානම් ආණ්ඩු කරන්න පාර්ලිමේන්තු බහුතරය අවශ්‍ය නෑ කියලා කියන්නයි. දින 100 අස්සේ ගෙනාපු 19 වැනි සංශෝධනය හොඳයි කියලා අද  නොකියන්නේ කවුද? 19 නිසා තමයි පාස්කු ගැහුවේ කියලා ටොම් පචයක් පැලකරපු මහින්ද රාජපක්ෂ පවා අද 19+ ගැන තමයි කතා කරන්නේ.

ඒ නිසා නිර්මල පූජනීය ශුද්ධ ජනමතයක් හොයන්න යන්න එපා කියලා මේ නායකයෝ දෙන්නටම කියන්න අවශ්‍යයි. ඔබලා රෙද්දේ ලේ සොයලා ඉවරවෙනකොට රෙද්දක් අඳින්න මිනිහෙක් හොයාගන්න නැතිවෙයි, ඒකයි ඇත්ත තත්ත්වය. මේ වෙනකොට රටේ ගොඩක් තැන්වල කුඹුරුටික කෙරෙන්නේ නෑ. ඒ කියන්නේ ඊළඟ කන්නයට අපිට කැඳ බොන්නවත් හාල් ඇටයක් නැතිවෙන්න පුලුවන්. ඒ කියන්නේ සාගතයක් එන්න පුලුවන්. ඒනිසා රෙද්දේ ලේ හොයන්න ගතවෙන තත්ත්පරයත් අපිට සෑහෙන්න වටිනවා.

ඒ නිසා වහාම රට අගාධයට ගෙනිච්ච රට විනාශය කරා අරං ගිය විමල් ඩලස් වගේ අයට මේ රටේ අනාගතය භාර නොදී වහාම මේ තත්ත්වයට මැදිහත් වෙලා මේ පක්ෂ දෙක ආණ්ඩු බලය ගන්න ඕනෑ අතට. හරිනිලා වගේ අය, හර්ෂ වගේ අයට තැන දීලා පාඨලී, හඳුන්නෙත්ති වගේ අයට තැන දීලා සීමිත කැබිනට් එකක් හදලා මේ අර්බුදය විසඳීමේ වැඩපිළිවෙල පටන් ගන්න ඕනෑ.

කෙනෙක් කියන්න පුලුවන් ජනාධිපති එක්ක කොහොමද කරන්නේ කියලා, ඒකට තියෙන එකම විසඳුම තමයි ජනමතය. වර්තමාන ජනමතය ජනාධිපතිව බෙලහීන කරලා සීමාකරලා ඉවරයි. පොහොර අර්බුදයක් රට අස්සේ ඇති කරලා රටේ ආහාර ප්‍රශ්නයක් ඇති කළේ ජනාධිපති. ඒකම ඇති ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න. එහෙම යෝජනාවක් ආණ්ඩුව ගත්තට පස්සේ ගේන එක තමයි සාර්ථකම ක්‍රමය. ජනමතයට ගැළපෙන කථානායකවරයෙක්ට පුලුවන් දෝෂාභියෝගයක් ආවොත් ඒක සෑහෙන්න දුරක් අරගෙන යන්න.

හැම පියවරක්ම පටන් ගන්න තියෙන්නේ බිංදුවෙන් කියලා මේ නායකයෝ දෙන්නා තේරුන් ගන්න අවශ්‍යයි. ඒනිසා මේ දෙන්නට තියෙන්නේ තමන්ට ඉන්න ජනතාව තරගයට පාරට ගෙනල්ලා ප්‍රදර්ශන නොතියා වර්තමාන ජනමතයට හිස නමලා පාර්ලිමේන්තුවේ ඒ ජනමතය ජනබලය නියෝජනය වෙන ආණ්ඩුවක් නිර්මානය කරගන්න වෙහෙසෙන එක. ඒකට අලුත් සටනක් පටන් ගන්න එක. ඒ සඳහා මිනිස්සු ජනමතය සංවිධානය කරන එක.

එහෙම නැතුව ඡන්දයක් ඉල්ල ඉල්ලා පාරේ බඩගෑවට වැඩක් නෑ. ජනමතය තියෙන්නේ ඔබේ දෙපතුල ළඟ පොඩ්ඩක් නැවිලා බලන්න ඒ දිහා..!

Gotagoogama galle face protest Anura Kumara Dissanayake sajith premadasa

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග