අරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව.

රඹුක්කන සිද්ධියේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් නීති ආධාර ලබා දීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුව, ජනමාධ්‍යවේදීන් සහ නීතීඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 23 වන දින රඹුක්කන ප්‍රදේශයට ගොස් පීඩාවට පත් වින්දිතයින් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මුණගැසීම සිදුවිය. එහිදී ජනමාධ්‍ය තුළින් මෙතෙක් අසන්නට නොලැබුනු තොරතුරු කිහිපයක් රඹුක්කන සිද්ධියේ ඉන්ධන බවුසරය ගිනිතැබීමට තැත්කලායැයි කියන අරාබි වසන්ත ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ නම් පටබැදී ඇති ඉන්දික සුබසිංහ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් දැන්ගැන්මට ලැබුනි.

ඉන්දික සුබසිංහ
ඉන්දික සුබසිංහ

මෙහිදී ඔහුගේ මව, පියා, පවුලේ ඥාතීන් ඇතුළු අසල්වාසින් පවසා සිටියේ ඉන්දික රඹුක්කන පොලේ එළවලු වෙළදාමේ නිරත පුද්ගලයෙකු බවත් අප්‍රේල් 19 වන දින ඔහුද රඹුක්කන පැවති විරෝධතාවයට සහාය පලකරමින් ඊට සහභාගී වූ බවත් එහිදී විරෝධාතා ස්ථානය අසල නවතා තිබූ බවුසරය අසල විරෝධතා කරුවන් නිතරම එහා මෙහා ගොස් ඇති බවත් එහිදී මොහු හැදසිටි ඇදුම හේතුවෙන් මොහුගේ ඡායාරූපය අනිසි අන්දමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇති බවයි.

මේ හේතුවෙන් පසුගිය අප්‍රේල් 22 වන දින රාත්‍රී 9.30ට පමණ මොහු නිවසේ සිටින අවස්ථාවේදී සිවිල් ඇදුම් හැදගත් කණ්ඩායමක් පැමිණ මොහුගේ නිවසට බලෙන් ඇතුළුවී නිවස පරික්ෂා කොට විරෝධතාවයේදී මොහු හැඳ සිටි ඇදුම්ද තම බාරයට ගෙන කට උත්තරයක් ලබා ගැනීමට අවශ්‍ය බව දන්වමින් ඉන්දිකවද රැගෙන පලා ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් ඇතුළු අසල්වාසීන් රඹුක්කන පොලීසියෙන් සහ කෑගල්ල පොලීසියෙන් විමසීමක් කළද ඔවුන් ඒ සමබන්ධයෙන් කිසිවක් නොදන්නා බව දන්වා ඇත.

ඥාතීන් ඇතුළු අසල්වාසින් වෙත පසුව දැනගන්නට ලැබී ඇත්තේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඉන්දිකව අත් අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි. නමුත් ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නේ කවදාද, කුමන වේලාවකදීද යන්න පිළිබඳව ඔවුන් වෙත තොරතුරු සම්ප්‍රේෂණය වී නොතිබීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 23 වන දින පස්වරුවේ මොහුව කෑගල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී එම ස්ථානයට යාමට පවුලේ ඥාතීන් වෙත නොහැකි වී තිබේ.

එහිදී රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02ක් මත ඉන්දිකව මුදා හැරීමට අධිකරණය නියෝග කලද, මොහු වෙනුවෙන් ඇප තැබීමට කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදුව තිබේ.

Social Sharing
නවතම