කරූට දීලා බලමුද?

අද විශේෂ දිනයක්. කොලඹ කොටුව යුද්ධ කලාපයක් වගේ වෙලා. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ස්ථිර යකඩ වැටවල්වලින් කොටුපවුරක් බැඳලා. ජනබලය ඒ යකඩ පවුරට ළඟාවෙමින් තිබෙන මොහොතක් මේක.

අන්තරයේ පාගමනට පොලීසියේ සහ හමුදාවේ සූදානම ගැන උදේ පාන්දරම කෝල් එකක් දීලා විස්තරයක් කීවේ විපක්ෂයේ ප්‍රබල දේශපාලකයෙක්. තත්ත්වය හොඳටම බයානකයි. ජන බලයට එරෙහිව අවි එසවෙන්න පුලුවන් බව තමයි හැම තැනින්ම පේන්න තිබෙන්නේ. උතුරෙන් දකුණට සංක්‍රමණය වුණ හමුදාව කොළඹ වාඩිලාගෙන ඉන්නවා. තමන්ට නියෝග ලැබෙන කම්. මේ තත්ත්වය අස්සේ ලේවැකි මර්දනයක් ද එහෙම නැත්තං මේ අර්බුදය සමනය කරපු හෙට දවසක් ද කියලා ගැඹුරින් හිතන්න ඕනී දවසක් අද.

අන්තරයේ ශිෂ්‍යයන් මේ අරගලය අතට ගන්න එක හොඳයි. මේ අරගලයේ උණුසුම තියෙන්නේ ශිෂ්‍යයන් සක්‍රීයව මේකට දායක වුණොත් තමයි. කොහොම වුණත් මගේ කතාව ඒක නෙවෙයි. මගේ කතාව මේ උණුසුම අස්සේ පාර්ලිමේන්තුවේ බල වෙනසකින් මේ අර්බුදය විසඳා ගැනීමේ රේල් පීල්ලට මේ අරගලය ගන්නේ කොහොමද කියන එක.

ඒකට මම අද කරන්නේ මේ වගේ යෝජනාවක්. මේ යෝජනාව කරන්න ප්‍රධානම හේතුව තමයි විපක්ෂ දේශපාලන නායකයන් මේ කොඩිවිනයට කරගහන්න තියෙන අකමැත්ත මේ වෙනකොට හොඳටම ප්‍රත්‍යක්ෂ වීම.

විපක්ෂයේ නායකයෝ හිතනවානම් මේ අවස්ථාවේ අගමැති ධුරය අරගෙන මේ අර්බුදය විසඳගන්න එක අඩියක් ඉස්සරහට තිබ්බොත් තමන්ගේ දේශපාලන අනාගතයම ඒ මගින් විනාශ වෙන්න පුලුවන් කියලා ඔවුන්ට කරන්න තියෙන හොඳම දේ තමයි හිටපු කථානායක කරූ ජයසූරිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනල්ලා ඔහුගේ නායකත්වයෙන් මාස 06ක අන්තර්කාලීන ආණ්ඩුවක් නිර්මානය කිරීම.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාට මේ තීන්දුව ගන්න නම් බය වෙන්න දෙයක් නෑ. ඔහුට තිබෙන්නේ මයන්ත දිසානායක මන්ත්‍රීවරයාට කියන්න ‘ඔබ අයින් වෙලා ඔය මන්ත්‍රී ධුරය කරූට දෙන්න’ කියලා. මයන්ත නැතිවුණත් වෙන කෙනෙක් උනත් මේ සඳහා කැමතිකරගන්න අමාරු වෙන එකක් නෑ.

කරූගේ ප්‍රධානත්වයෙන් හදන අලුත් ආණ්ඩුවට පුලුවන් අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නඟන්න. තිත්ත බෙහෙත් දෙන්න තියන වෙලාවක් මේක. කරූට තමන්ගෙ දේශපාලන අනාගතය ගැන බය වෙන්න දෙයක් නෑ. ඒනිසා ඔහුට අනෙක් නායකයන්ට වඩා හොඳට මේ අර්බූදය විසඳගන්න නායකත්වය දෙන්න පුලුවන්.

ආර්ථික ප්‍රතිසංස්කරණ වලට අමතරව වහාම 19+ ගෙනල්ලා වර්තමාන ජනාධිපති බලතල කප්පාදු කරන්න ඕනී. ඒ වගේම විධායකය අවසන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කරන්න පුලුවන්.

ඒ වගේම දුප්පතුන්ගේ කුස ගින්න නිවන්න ඉතාම හදිස්සි ආර්ථික සහන දෙන්නත් කරූගේ මූලිකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවට පුලුවන් වෙන්න ඕනී.

මේ වෙනකොට අන්තර්වාර පාලනයේ නායකත්වය ගැන ආණ්ඩුව ඇතුලෙන් එක එක නම් එළියට එනවා. ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා, දොස්තර රමේෂ් පතිරණ වගේ අයගේ නම් ඒ අස්සේ කියවෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මොවුන්ට ජනතා විශ්වාසය තියෙනවාද කියන එක. මේ තත්ත්වය අස්සේ මේ කාටවත් මේ රටට නායකත්වය දීලා අත්‍යාවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කරලා රට වහාම මේ අර්බුදයෙන් ගොඩගැනීමේ ජනතා වරමක් ශක්තියක් නෑ. ඒ නිසාම මොවුන්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් හැදුවා කියලා මේ උද්ඝෝෂණ නිමාවක් වෙන එකක් නෑ. ඒනිසා කරූ ජයසූරිය මේ වෙලාවේ හොඳම තෝරාගැනීම කියලයි මට හිතෙන්නේ.

කරූ ජයසූරිය ගේ නායකත්වයෙන් සර්වපාක්ෂික කුඩා කැබිනට්ටුවක් හදලා විශේෂඥ උපදේශක සභා කිහිපයක් පත්කරලා ඒ සුසංයෝගයෙන් මේ මාස 6 වැඩ කළොත් මේක විසඳාගන්න අමාරු වෙන එකක් නෑ.

ඒ නිසා මට හිතෙන්නේ තිත්ත බෙහෙත් පොවන්න පුලුවන්, සරළ රේඛාවක ජනතාව තියලා මේ ප්‍රශ්න රැස වහාම විසඳන්න අවශ්‍ය ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න පුලුවන් විශාලම පසුබිම තිබෙන්නේ කරූට. ඒ නිසා සජබ නායකත්වය වගේම එහි මන්ත්‍රීවරුන් මේ පිළිබඳව වහාම තමන්ගේ සැලකීම දක්වන්න ඕනී. ඒ මොකද ගෙවෙන හැම තත්ත්පරයම ජනතාව මාරයාගේ කටට අරගෙන යමින් තිබෙනවා.

(විපක්ෂය තුළ සිටින බොහෝ නායකයන්ට මේ අර්බුදය ජයගැනීම සඳහා නායකත්වය දියහැකි බව මගේ විශ්වාසයයි. එහෙත් ඔවුන්ගේ සාධාරණ බය නිසා අපි ඊළඟට කරන්නේ කුමද්ද යන්න සාකච්ඡා කිරීම හොඳ යැයි සිතෙන නිසා මෙය ලියූ බව සලකන්න.)

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග