ලස්සන මිනිස්සු ගැන කතාවක්…..!

ලංකාවට ඇවිල්ල යන්න ඉතුරුවෙලා තියෙන්නෙ එකම එක හේතුවයි. ඒ ගෝඨාගෝගම හා ඒ හරහා එකතුවෙලා ඉන්න ලස්සන මිනිස්සු ටික විතරමයි.

වයස ලොකු පොඩි භේදයක් නැතුව එකතු වෙලා ඉන්න මේ මිනිස්සු තමයි ලංකාවට “ජනතාව” කියන වචනයේ අර්ථය පෙන්නල දුන්නෙ.

දැන් ඒ වටා මිනිස්සු එකතු වෙනවා.

සල්ලි වලට විකිනෙන මෝඩ ගිහි හා පැවිද්දන් අතරෙ….  තවත් අපූරු සතර පසයක් මේ වටා එකතු වෙනවා.  මේ අයට ආගම් හේද නෑ.

සතර පසය කීවෙ තේරුම් ගැනීමේ පහසුවට. මුස්ලිම්….. බෞද්ධ… ක්‍රිස්තියානි… අන්‍යාගමික හැමෝම එතන ආදරේ බෙදා ගන්නවා.

මොන චෝදනා තිබුනත් මිනිසුන්.. ආදරණීය මිනිසුන් ගෝඨාගම ඉන්නවා.  රැට්ටා… අනුරුද්ධ වගේ තරුණ ජවය… සන්නස්ගල වගේ හඬක් තියෙන පරණ පරපුරේ අය … රසික ජයකොඩි වගේ ඇත්ත හිතට කතා කරන මිනිස්සු ඇත්තටම ආදරණීයයි.

ලංකාව ඊයෙ ඉඳන් ලෝකය හමුවේ බංකොලොත් රටක් විදිහට නිල වශයෙන් පිලි ගනිද්දි, මේ රටවලින් අපිට අණතුරු අඟවනව ලංකාවට යාම සුදුසු නෑ කියලා.

මෙන්න මේ රට බංකොලොත් භාවයට ඇද දැමූ වංචාකාර නඩයේ ලොකු මහත්තයා දැන් කියනව “ගෝඨාගම තරුණයන් එක්ක සාකච්ඡා කරන්න” කැමතිලු.

සාකච්ඡා කරන්න..?.

නෑ මහත්තයා… සාකච්ඡා කරන්න කලින් සමාව ගන්න.

ඒ එක්කම රටේම මිනිස්සු මුලින් ඉල්ලන්නෙ ……

ඔබතුමාගෙ මෝඩ මල්ලිට තනතුරෙන් ඉවත් වෙන්න කියලා.

මල්ලි වෙනුවෙන් පවුල වෙනුවෙන් කුණුහරප කතා කියන්න එපා. හාමුදුරුවරු උසි ගන්නල ඒ මිනිස්සුන්ට පව් පුරවන්න එපා.

යුද්ධෙ විකුණල තවම රජවෙන්න හදන “මයින්ද මාත්තියා.. ” ගොඨාගම ඉන්නෙ තරුණයො විතරක් නෙවේ. අනිත් කාරනේ ඒ ඔබතුමාගේ පොඩි එවුනුත් නෙවේ.

එතන ඉන්නෙ මන්ද බුද්ධික බේබිලා තුන්දෙනෙක් නෙවේ. ඉගෙන ගත්ත.. දුක් විඳපු ..මොලේ තියන..කොන්දක් තියන තරුණ තරුණියො  වගේම උන්ට සහය දෙන විවිධ වයස් වල මිනිස්සු.

දැන්වත් ඔය උද්ද්ච්ඡකම… මෝඩකම නතර කරල ඒ මිනිස්සුන්ගෙන් සමාව ගන්න. ඉන් පස්සෙ රටේම මිනිස්සු එකතු වෙලා කරන ඉල්ලීමට කන් දෙන්න.

ඔය වඳුරු බණ… ඔය මෝඩ පරණ ටේප් එක ආපහු දාල රටේ මිනිස්සු රවට්ටන්න එපා මහත්තයෝ.

ඒ මිනිස්සු පව්… ඒ මිනිස්සු අඬනවා.

අම්මල කුස්සි වලට වෙලා හූල්ලනවා. පොඩි එවුන් භූමිතෙල් ඩීසල් පෝලිම් වල උන්ට ඉස්කෝලෙ යන්න බෑ.

තාත්තල  අඬනව පොඩි උන්ට අළුත් ඇඳුමක් තියා තුන්වේල හරියට දෙන්න බැරිව.

උන්ට මොන අවුරුදුද..අපිට මොන අවුරුදුද මහත්තයෝ.

ලංකාවෙ ඉන්න අපේ යාළුවො දවස ගානෙ පණිවිඩ එවනව උන්ට තියෙන දුක අග හිඟකම් කියල. අපේ මැසෙන්ජර්.. වට්ස් අප් පිරිලා.

උන්ගෙ අතේ සල්ලි නෑ පොඩි උන්ට කන්ඩ ටික හරියට දෙන්ඩ වත්.

උදේ නැගිටල ෆෝන් එක අතට ගත්තහම අඬන්න හිතෙනව මනුස්සයෝ.  උන් අද පුදුම විදිහට අසරණ වෙලා.. අසරණ වෙලා නෙවේ අසරණ කරලා. හැබැයි උන්ට දැන් හඬක් තියනව ගෝඨාගෝගම හරහා.

නන්දලාල් මහත්තයා බිල්ලට දීල අපෙන් ඩොලර් හිඟා කන්න ලෑස්ති වෙන්න එපා.   මේ රටවල ඉන්නෙ පරණ බයියො නෙවේ.

ලංකාවෙ ජීවත් වෙන මිනිස්සුන්ට වගේම උන්ට ආදරේ කරන පිටරට ඉන්න අපිටත් අවුරුදු නෑ.

රට කෑව ඇති මහත්තයෝ…  හොඳටම ඇති.

ඔය හම්බ කරපු ඩොලර් බිලියන 18…  නාමල්, යෝෂිත, රෝහිතලගෙ පරම්පරා දහයකටවත් වියදම් කරල ඉවර කරන්න බෑ. ඒ තරම් කාලයක් මේ ලෝකය හෝ මනුෂ්‍ය වර්ගය පවතින්නෙත් නෑ.

මහත්තයෝ කරුණාකරල බොරු කියමින් ලංකාවෙ අහිංසක මිනිස්සු … ගෝඨාගෝගමට එකතු වුනු සුන්දර මිනිස්සු රවට්ටන්න එපා.

ඕව සහ ගහන අපරාධ.

කිසිම පෞද්ගලික තරහකට නෙවේ මේ ලියන්නෙ.. මං ඉපදුනු රටේ මිනිස්සු ගැන දුකෙන් මේ ලියන්නෙ.

අළුතෙන් හදපු නම ඔබ දැනටමත් දන්නව ඇති. ඔබ තවදුරටත් අප්පච්චි නෙවේ.

හිතේ වේදනාවෙන් මෙන්ම තමුන් ගැන ඇතිවූ අප්පිරියාවෙන්,

සුරිච් නගරයේ සිට.

-Malcolm sang-

Social Sharing
නවතම විශේෂාංග