අරගලයේ විචිත්‍රත්වයෙන් මන්මත් විය යුතු නැත!

ගාලු මුවදොර අරගලය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ගේ මහත් පිබිදීමකට තුඩු දී තිබේ. ඒ පිළිබඳ දිනපතා බොහෝ තොරතුරු අසන්නට දකින්නට ලැබේ. එම අරගලය අනිවාර්යයෙන් ජයගත යුත්තකි. නමුත් අරගලයේ විචිත්‍රත්වය සහ රොමෑන්තිකකරණය හමුවේ අප බොහෝ දෙනෙකු සිතා මතා හෝ අවිඥානිකව අමතක කර ඇති කාරණා කීපයක් කෙරෙහි අවධානය යොමු කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

ගාලු මුවදොර වෙත යාමට පෙර මෙම අරගලයේ අක්මුල් රැඳී තිබුණේ, දිවයිනේ විවිධ ස්ථානවල පැන නැගුණු ආණ්ඩුවට එරෙහි මහජන විරෝධතා මතය. පොහොර හිඟය හේතුවෙන් වීදි බට ගොවීන් සහ නොනවතින සටනක යෙදෙමින් හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වහා ස්ථාපිත කරන ලෙස ඉල්ලූ ගොවීන් ද, ගුරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අඛණ්ඩ අරගලයක නිරත වූ ගුරුවරු ද, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දැමූ විශ්වවිද්‍යාල යළි විවෘත කරන ලෙස ඉල්ලා වීදි බට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ද මෙහිදී කැපී පෙනුණි. මීට අමතරව ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව සිදු කරන පරිසර සංහාරවලට එරෙහිව විරෝධය පෑ පරිසරවේදීහු ද දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි අරගලවල නිරත වූහ. නමුත් තැනින් තැන පැන නැගුණු මෙම විරෝධතා එක් කේන්ද්‍රයකට ගොනු වූයේ නැත. එම විරෝධතා එසේ එක් කේන්ද්‍රයකට ගොනු කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙකු මැදිහත් වූයේ ද නැත. බොහෝ දේශපාලන පක්ෂ සහ නායකයන් විසින් කළේ, තම පක්ෂ සාමාජිකයන් ගෙන්වාගෙන තනි තනි රැස්වීම් පැවැත්වීමයි.

මේ පසුබිම තුළ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් බලයට පත් වූ දා සිට කරමින් සිටි අටෝ රාශියක් වැරදි ගැන බහුතර ජනතාව සිටියේ මුනිවත රකිමිනි. අපරාධකරුවන්ට ජනාධිපති සමාව දීම, තම ඥාතීන් සහ හිතවතුන් සියලු නඩුවලින් නිදොස්කොට නිදහස් කිරීම, සිවිල් පරිපාලනය හමුදාකරණය කිරීම, ඩොලර් සහ රන් සංචිත අවභාවිත කිරීම, බදු ප්‍රතිපත්තිය විකෘති කිරීම සහ අසීමිත ලෙස මුදල් අච්චු ගැසීම මේ වැරදි අතරින් කීපයක් පමණි. සමාජයේ ඉතා සුළු පිරිසක් මේ කාරණාවලට විරුද්ධව හඬ නඟද්දී, බහුතර ජනතාව සිටියේ ඉතා අක්‍රිය සහ නිද්‍රාශීලී ස්වරූපයෙනි. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත් කිරීමට සිය ඡන්දය ලබා දුන් ගොවීන් සහ ගුරුවරුන් සුළු පිරිසක් හැර, 69 ලක්ෂයක ඡන්ද දායකයන්ගෙන් බහුතරයක් සිටියේ, තමා විසින් බලයට පත් කරන ලද ජනතා නියෝජිතයන් කෙරෙහි මහත් භක්තියෙන් සහ විශ්වාසයෙන් ඔවුන්ගේ සියලු ආණ්ඩුකරණ දෝෂ නුදුටුවා සේය.

මෙම ජනතාවගේ අක්‍රියභාවයට සහ නිද්‍රාශීලීභාවයට බාධා පැමිණෙන්නේ, දෛනික විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන හිඟය, කිරිපිටි සහ බෙහෙත් හිඟය, අහස උසට යන භාණ්ඩ මිල ආදියෙන් තම කාර්යයන්ට බාධා වී, තම එදිනෙදා ජීවිතය තවදුරටත් සුපුරුදු පහසුවෙන් පවත්වාගෙන යාමට නොහැකි වීම හේතුවෙනි. මෙය දැඩි හිරවීමක් (deadlock) ලෙස හැඳින්විය හැකිය. නගර ගම් දනවු සිසාරා ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් එරෙහි විරෝධතා මතු වන්නේ ඒ සමඟය. තැන තැන පැවති මෙම විරෝධතා උත්සන්න වන්නේ පසුගිය මාර්තු 31 වැනිදා මිරිහාන, පැඟිරිවත්තේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටට පැමිණි එම ප්‍රදේශයේ ජනතාව සෘජුවම ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කිරීමත් සමඟයි.

එහිදී මතු වූ ප්‍රධානතම සටන් පාඨය වූයේ, “ගෝඨා, ගෙදර යන්න” (Go Home Gota) යන්නයි. මෙය එතෙක් තැන තැන පැන නැඟුණු විවිධ සටන් පාඨවලට වඩා වෙනස්ය. එය සියලු මහජන විරෝධය එකට ගොනු වූ කේන්ද්‍රීය පොදු සටන් පාඨයක් විය. මේ පසුපසින් ආ අනෙකුත් සටන් පාඨ දෙසට ද අවධානය යොමු කරන විට පෙනී යන්නේ, ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කිරීම පමණක් නොව, රාජපක්ෂලාගේ පවුලම හොරු බවත්, ඔවුන් ජනතා මුදල් කොල්ල කෑ බවත්, එම මුදල් ආපසු දෙන ලෙසත්, එසේ නොකර පැන යා නොහැකි බවත්, කළ වැරදිවලට දඬුවම් ලැබිය යුතු බවත් ජනතාව විසින්ම හඬගා කී බවයි. මෙහිදී ඉස්මතු වූ අනෙක් කාරණා වූයේ, ජනාධිපති ගෝඨාභය පිස්සෙකු බව සහ රාජපක්ෂ පවුලේ කිසිවකු රාජ්‍ය පාලනය සඳහා නුසුදුසු බවයි. මිරිහානෙන් ඇරඹුණු මෙම සටන් පාඨ තව තවත් දෙගුණ තෙගුණ වී ප්‍රබල ලෙස ව්‍යාප්ත වූයේ රට පුරාම ජනාධිපතිවරයාට, රාජපක්ෂ පවුලට සහ ආණ්ඩුවට එරෙහිව මතු වූ විරෝධතා රැල්ලත් සමඟය. මේවායේදී රාජපක්ෂලා, හොරුන් පමණක් නොව අපරාධකරුවන් සහ දූෂිතයන් රැකි පවුලක් ලෙස ජනතාව විසින්ම නාමකරණය කරනු දැකගත හැකි විය.

දැන් සමස්ත ලංකාවම නියෝජනය කරමින් ගාලු මුවදොරට රැස්වී ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරන්නන් ද මෙම සටන් පාඨ ඉදිරියට රැගෙන යන්නේ ඒවාට තව තවත් කොටස් එකතු කරමිනි. මෙහිදී අප ප්‍රශ්න කළ යුත්තේ, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල අපරාධකරුවන්, සොරුන් සහ අන්තවාදී තක්කඩින් බව පසුගිය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ සමයේ විපක්ෂ බලවේග මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි පිරිස් දිගින් දිගටම පෙන්වා දෙද්දී, එම කරුණු සම්පූර්ණයෙන්ම නොසලකා හැර රාජපක්ෂලා බලයට ගෙන ආ පිරිස්වලට රාජපක්ෂලාගේ අපරාධ, සොරකම් සහ තක්කඩිකම් මතක් වූයේ තමන්ට කෑම බීම, බෙහෙත්, විදුලි බලය, ගෑස් සහ ඉන්ධන හිඟ වූ පසුව ද යන්නයි. දැන් පාරට බැස රාජපක්ෂලා අපරාධකරුවන්, සොරුන් සහ තක්කඩින් බව කියා මොරදෙන පිරිස්, එදා ඡන්දය දුන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්ලු! අද හිටිගමන් පහළ වී ඇති රාජපක්ෂලා පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අවබෝධය එදා තිබුණේ කොහි ද? එසේ නම් රාජපක්ෂලාට වඩා තක්කඩින් වන්නේ, මේ 69 ලක්ෂයක ඡන්ද දායකයන් නොවේ ද? ඔවුන් ඡන්දය දී ඇත්තේ, රාජපක්ෂලාගේ සියලු අපරාධ, සොරකම් සහ තක්කඩිකම් පිළිබඳව දැන දැනය. අද පාරට බැස සිටින බහුතරයක් එදා ගෝඨාභය වීරයෙක්, ගැලවුම්කරුවෙක් ලෙස නාමකරණය කළහ; කිසිදා සක්‍රිය දේශපාලනයේ නිරත නොවූ මිලිටරිකාරයෙක් කෙරෙහි කිසිදු තර්ක බුද්ධියකින් තොරව හැඟීම්වලට වහල් වී පූර්ණ විශ්වාසය තැබීය. එහි අයුතු ප්‍රතිඵල දැන් භුක්ති විඳින්නේ ගෝඨාභයට සහ රාජපක්ෂලාට ඡන්දය දුන් 69 ලක්ෂය පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවයි.

මෙම හැඟීම්බර අතාර්කිකභාවය දැන් අරගල භූමියේ ද දක්නට ලැබෙන බව මෙහි සටහන් කර තැබිය යුතුය. දැන් අරගලයට අවතීර්ණ වී සිටින බහුතරය එදා ඔය පෙන්වන ගැම්මෙන්ම ගෝඨාභය බලයට ගෙන ඒමටත්, බලයට පත් වූ පසුව ඔහුගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම පිණිස බිත්තියක්, තාප්පයක්, බෝක්කුවක්, පාලමක් ගානේ චිත්‍ර ඇඳීමටත් උත්සුක වූහ. ඔවුන්ට නොවැටහුණේ රාජපක්ෂ පවුලත්, ඔවුන්ගේ හිතවතුනුත් මඟහැර ගෝඨාභයට තනිව ආණ්ඩු කළ නොහැකි බවයි. තරුණ අරගලකරුවන් තරයේ සිහි තබා ගත යුත්තේ සිය ස්මාර්ට් දුරකථනයේ එක් බොත්තමක් ඔබන වේගයෙන් දේශපාලන පෙරළි සිදු නොවන බවයි. ඔවුන් විශ්වාස කරන්නේ, ගෝඨාභය පත් කළේ ඔවුන් විසින් බැවින් ඔවුන් කියන විට ඔහු ගෙදර යාමට සූදානම් යයි කියා නම් එය බිහිසුණු මුලාවකි. රාජපක්ෂලා එසේ බලය අත නොහරින බවට මෑත ඉතිහාසයේ බොහෝ උදාහරණ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 18 වැනි සංශෝධනය මඟින් ජනාධිපතිවරයාට පනවා තිබූ වාර දෙකේ සීමාව ඉවත් කරගෙන මැරෙන තුරු ජනාධිපතිකම රැක ගන්නට තැතනීම සහ යහපාලන ආණ්ඩුව අභිභවා ව්‍යවස්ථා විරෝධීව දින 52ක් බලහත්කාරයෙන් අගමැති ධුරයේ එල්ලී සිටීම ඉන් සමහරකි.

අරගලය නිර්පාක්ෂික වීම හෝ ඊට දේශපාලන පක්ෂ හෝ නායකයන් ගාවා නොගැනීම වෙනම කාරණයකි. නමුත් ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලට ගෙදර යාමට කොතෙක් බල කළත් නොයන්නේ නම්, ඊට තිබෙන ව්‍යවස්ථානුකූල මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අරගලයේ දිශානතිය ඒ දෙසට ද යොමු කළ යුතුය. මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනතා නියෝජිතයන් කට වචනයෙන් කීවාට ඉල්ලා අස්වන්නේ නැත්නම් ඊට ව්‍යවස්ථානුකූල විකල්ප සෙවිය යුතුය. ඒ, ගෝඨාගෝගමේ සිටින තරුණ පිරිසට රට පාලනය කිරීමට ව්‍යවස්ථානුකූල බලයක් ලැබී නොමැති හෙයිනි; ව්‍යවස්ථාවෙන් පිටට ගොස් රාජ්‍ය පාලනය කිරීමට තැත් කළහොත් ජාත්‍යන්තරය එය නොපිළිගන්නා හෙයින් ජාත්‍යන්තර සහයෝගය අහිමි වන බැවිනි. එබැවින් ඔවුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ මහජන නියෝජිතයන් 225ම එපා යයි කීවාට වැඩක් නැත. එය අතිශයින් බොළඳය; අතාර්කිකය; අභව්‍යය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එපා යයි කියමින් ඔවුන් අපේක්ෂා කරන්නේ විප්ලවයක් ද? නැතහොත් මිලිටරිමය පාලනයක් ද? එය තවත් දරුණු ඒකාධිපතිවාදයක් වෙතට අපව ඇද දමනු ඇත. එබැවින් අප සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයන්ය. ජනතා නියෝජිතයන් ඔබ විසින් පත් කරන තාක් ඔවුන් ඕපපාතික නැත. කළ යුත්තේ, මේ කුරිරු රෙජීමයට එරෙහිව ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ගැනීමට තමා විසින් පත් කර යැවූ ජනතා නියෝජිතයන්ට බල කිරීමයි. ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල ප්‍රතික්ෂේප කර එලවා දැමීමට පාර්ලිමේන්තුව වෙතටම පීඩනය එල්ල කිරීමයි. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටත්, එය අත්සන් කිරීමටත් එම ජනතා නියෝජිතයන්ට බල කිරීමයි.

ගාලු මුවදොර අරගලය ශ්‍රී ලංකා රාජ්‍යයේ අනාගත දිශානතිය තීරණය කරන බලවේගයක් වන්නේ ඒ හරහා මුවහත් කරන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලියක් තිබුණහොත් පමණි. අප විසින් අපගේ ඡන්දයෙන් පත් කරන ජනතා නියෝජිතයන් කොතරම් එපා වුවත් ඔවුන් නියමිත නිල කාලයට පෙර නැවත කැඳවිය හැකි බලයක් (power to recall) අපට නැත. එම බලය ලබා දෙන ලෙස ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා හරහා අප ඉල්ලා සිටිය යුතුය.

අරගල පරණ වන විට යන්නේ ඉබාගාතේය. එය හැඟීම්වලට යට වූ කානිවල් එකක් බවට පත් නොවිය යුතුය. තාප්පවල චිත්‍ර ඇඳ ගෝඨාභය පොර කළ ආකාරයේ ලේසියකින් ඔහු එලවා දැමිය නොහැකි බව අරගලකරුවන් අවබෝධ කරගත යුතුය. ඔබ කොතෙක් අකමැති වුවත්, තිබෙන ආයතනික ව්‍යුහයන් හරහා මිස ඉන් පිට පැන ආණ්ඩුකරණයේ වෙනසක් කළ නොහැකිය. ඔබට පමණක් මෙය කළ හැකි යයි සිතන්නේ නම් සහ සියලු පවතින යාන්ත්‍රණ ප්‍රතික්ෂේප කරමින් වෙනසක් ගෙන ආ හැකි යයි සිතනවා නම් එය ගෝඨාභය වැන්නෙකු වීරයෙකු කරමින් බලයට ගෙනැවිත් කරන ලද ව්‍යසනයට වැඩි අකරතැබ්බයක් සිදුකරනු ඇත.

අපට විශාල කාලයක් නැත. ගෙවෙන සෑම මොහොතකම රට බංකොලොත් වෙමින්, නොපෙනෙන අගාධයකට ඇද වැටෙමින් තිබේ. එබැවින් නොපමාව ව්‍යවස්ථානුකූල විසඳුමකට යාම පිණිස අරගලයේ දිශානතිය වෙනස් කළ යුතුය. අරගලයේ විචිත්‍රත්වයෙන් මත් නොවන්න; හැඟීම්වලට වහල් නොවන්න; යථාර්ථය දකින්න. සිහින මත සිට තීරණ ගතහොත් නැවත ගොඩ ඒමක් නැත. අප සිහි බුද්ධියෙන් අරගලය මෙහෙයවිය යුත්තේ පාර්ලිමේන්තුව හරහාම ගැටලු විසඳා ගැනීම කෙරෙහිය. ගෝඨාභයට අස් වීමට බල කරන ගමන්ම පාර්ලිමේන්තුවට ද එම කාර්යය සඳහා හවුල් වීමට බල කළ යුතුය. රාජ්‍යයේ නිල ආයතනික ව්‍යුහ අභිභවා යාම නොව ජනතා බදු මුදලින් යැපෙන එම ආයතන තුළින්ම විසඳුම් සොයා ගැනීමට යොමුවිය යුතුය. එසේ නොකළොත් පෙරදී ඇඳි චිත්‍රවල දියසෙවෙල් බැඳී මැකී ගියා සේ ගෝඨාගෝගම ද ජන මනසේ වල් වැදී යනු ඇත.

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

13-04-2022

Social Sharing
නවතම විශේෂාංග