අයෙ එන්න බෑ! අපි ස්වාධීන ගමනක් යනවා – නිමල් සිරිපාල ද සිල්වා

යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙත කළ ඉල්ලී ප්‍රතික්‍ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට පක්‍ෂයක් ලෙස ගත් තීරණය වෙනස් කළ නොහැකි බව මෙන්ම ජනතා ඉල්ලීම ප්‍රති‍ක්ෂේප කළ නොහැකි බව තම පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම මේ අවස්ථාවේදී රටේ පවතින අර්බුදය විසඳීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කෙරූ අතර, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා රජය ගෙනඑන ඕනෑම වැඩපිළිවෙලකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහය ලබාදෙන බව ද හිටපු ඇමතිවරයා අද (6) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික, හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් ද සිල්වා, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන්, ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

Social Sharing
නවතම