සපත්තුවේ තරමට සිහිනය කොටකර නොගතයුතුය…!

දේවල් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙයි අදහාගත නොහැකි ලෙස මිනිසුන් වංචාවට දූෂණයට තිත තබන්නට කතා කරයි, මිනීමරුවන්ට දඬුවම් දෙන්නට යෝජනා ගෙන එයි. මෙය 2015 තත්වයට සම්පුර්ණයෙන් ම වෙනස් ය. නූල් සූත්‍ර යෝජනාවලට මෙන්ම චෙස් ඇදිලිවලටද ජනතාව එකහෙළා විරෝධය පළකරමින් සිටියි. මෙම තත්ත්වය තුළ බලහෝමාරුව පිළිබඳව නෙක අදහස් නැඟෙයි. අජිත් පැරකුම් ජයසිංහ ලියා තිබෙන අදහස් කියවූවිට මෙය ලියන්නට සිතුවෙමි.

මගේ නම් අදහස කුමන හේතුවක් නිසා හෝ මේ තත්ත්වය විනාශ නොකරගත යුතු බවය. පක්ෂ විපක්ෂ දේශපාලකයින්ට වඩා පුරවැසියා ගවුගනනක් ඉදිරියෙන් සිටින බව පෙනෙයි. මෙම තත්ත්වය තුළ 2015 වැනි පාලනයක් පිහිටුවීමට ගන්නා උත්සාහයක් පවා රට තව තවත් අවුලට රැගෙන යනු ඇත.

‘සල්ලි දීලා පලයල්ලා’ යන්න මෙම සටන තුළ උස්ව ඇසෙන සටන් පාඨයයි. මෙම තත්ත්වය තුළ අන්තර්වාර පාලනය තුළ බලයට එන නායකයාට මේ චෝදනා ලබන්නන් අත්අඩංගුවට ගෙන රඳවා පසුව සාධාරණ විමර්ෂනයකට ලක් කිරීමේ නිවැරදි හැකියාව තිබිය යුතුය. යහපාලනය කළා සේ සියල්ල සොයාගෙන නඩු දමන්න කල්පනා කරනවානම් එයින් ජනතාවගේ බලාපොරොත්තු ඉටුනොවෙනු ඇත.

එනිසා පත්වෙන ආණ්ඩුව සංක්‍රාන්තික ආණ්ඩුවක් උනත් එහි නායකයන්ට මෙම අත්‍යාවශ්‍ය කොන්දේසි සපුරාගැනීම සඳහා ශක්තිය සහ පිටකොන්ද තිබිය යුතුය.

මම විපක්ෂයේ සිටින ජනාධිපති සිහින ලාභීන් කිහිපදෙනෙක්ගෙන් ඔවුන්ගේ ළඟම හිතවතුන්ගෙන් මේ තත්ත්වය තුළ රටේ නායකයා වන්නට උනොත් එය භාර ගන්න කැමතිදැයි නිකමට විමසීමක් කළෙමි. ඔවුන් බොහෝ දෙනෙක් මෙය දකින්නේ පාස්කර දැමිය යුතු දෝතට ගන්නට නොසිතිය යුතු අවස්ථාවක් හැටියටය. ඒකට ප්‍රධාන හේතුව වර්තමානයේ සතර අතින් නැඟෙන ජනගෝෂා තුළ උස්ව ඇසෙන ජනතා අභිලාෂයන් ඉටුකරගන්න බැරිවෙයි යන බයයි. එමෙන්නම මෙම අවුරුදු දෙකක කෙටි කාලසීමාව තමන්ගේ මුලු දේශපාලනයම විනාශකර දමන කාලයක් විය හැකියි යන්න අනියත බියයි.

මේ වෙලාවේ ජනතාව ඉල්ලන්නේ ඉතිහාසය තුළ තමන්ට නොදුන් තිත්ත බෙහෙත් ය. එනිසා මටනම් හිතෙන්නේ මේක බය විය යුතු අවස්ථාවක් නොව ලබාගත යුතු සහා මේ ඔස්සේ රට වෙනස් මඟකට ගෙනියන්න ලැබෙන චාන්ස් එකක් ලෙසය.

මානව හිමිකම් සුරැකිය යුතුය ඒකේ ආයේ කතා දෙකක් නැත. නමුත් හොරුන්ට පැනයාම සඳහා රනිල් වික්‍රමසිංහ කළා සේ මානව හිමිකම් පාලම් නොසෑදිය යුතුය. අයතා මුදල් ඉපැයීම මුදල් හොරකම් කිරීම්, ඝාතන සඳහා සැකකරුවන් දුසිම් ගණනකගේ නම් කියවෙයි. සමහර සැකකරුවන් පිළිබඳව විමර්ශන සෑහෙන දුර ගොස් ය. අනෙක් පැත්තෙන් සැකකරුවන්  අත්අඩංගුවට ගැනීමේ සහ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ අවුලක් ද නැත.. මෙතෙක් කල් බොහෝ විට එවැනි දේවල් සිද්ධවුණේ සාමාන්‍ය ජනතාව අරඹයා ය. මෙවර ඒවා දූෂිත ඝාතක ප්‍රභූන් අරඹයාද භාවිතා කළ හැකිය.

මගේ නම් අදහස හොඳ රටවල් බිහිවී ඇත්තේ ලෙයින් කඳුළින් සහ දහඩියෙන් බවයි. එයින් අදහස් කරන්නේ වල්බූරු නිදහසක් ගෙන මානවහිමිකම් කෙළෙසිය යුතුයි කියන දෙය නොව, අවම හානියක් තුළ හෝ ජනතා අභිලාෂයන් ඉටුකරලන්නට බලය ලැබෙන කණ්ඩායම් කටයුතු කළ යුතු බවය.

1971 සිට හෝ අඩුම ඝාතනය වූවන්ට නිසි යුක්තිය සොයාගැනීම වගවීමේ යාන්ත්‍රනයක් නැතිව මොනවා කතා කළත් මේ රටට ගොඩයෑමක් නැතිය. මහජන මුදල් මංකොල්ලකෑ පිරිස්වලට නිසි දඬුවම් පමුණුවන්නට ධෛර්යය උපදවාගන්නට අපට නොහැකි තාත් වංචාවෙන් සහ දූෂණයෙන් තොර රටක් සාඳාගැනීමත් කළ නොහැකිය.

මේ සියල්ලට එකඟවූ පුරවැසි සමූහයක් දැන් නිර්මානය වී තිබේ. එනිසා දැන් අවශ්‍ය වන්නේ මෙම පුරවැසි දේශපාලන අභිලාෂයන් නියෝජනය කළ හැකි ඒවා ක්‍රියාත්මක කළ හැකි දේශපාලන නායකත්වයක් ය. එය ඉක්මනින් සොයා ගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය ඉක්මන් වෙන තරමට රට ලේවැකි අරාජිකත්වයකට ගමන් කිරීම වැළකෙනු ඇත.

මෙනිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වුණත් තනතුර හැරදා යන්නට ගන්නා කාලය ඔහු අරඹයා පවා තීරණාත්මක විය හැකිය. එම තීරණය පමා වෙන්න වෙන්න රට අරාජික වෙනු ඇත. එනිසා රාජපක්ෂවරුන්ද ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. බල හොවමාරුව සඳහා අවස්ථාව සලසන්නන් අතරමැදියන් යන පිරිස්වලටද මේ අවස්ථාවේ සුවිශාල වැඩක් තිබෙයි. ඔවුන් මේ මොහොත පිළිබඳව බැරෑරුම් ලෙස සිතිය යුතුය.

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග