පොදු දේපල චෝදනාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිදහස්!

2016 දී ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 36කට වඩා වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරු දෙදෙනෙක් තීන්දු කළහ.

අද (5) මෙම නඩුව දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන් ඉදිරියේ විභාගයට ගත් අතර එහි අරමුණ වූයේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ලබාදීමය.

එහිදී දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරු දෙදෙනා බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත ප්‍රකාශ කර ඇත්තේ පොදු දේපළ පනතේ 7 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ස්වභාවික පුද්ගලයින්ට පමණක් බවය.

අදාළ නඩුවේ විත්තිකාර පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම ස්වභාවික පුද්ගලයෙකු නොවන හෙයින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනාවක් පවත්වාගෙන යා නොහැකි බව ද විනිසුරුවරයා අවධාරණය කර ඇත.

මෙම තත්ත්වය තුළ සමාගමට එල්ලවී තිබෙන චෝදනා වලට සම්බන්ධ වී පවතින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ චෝදනා ද පවත්වාගෙන යාමට නොහැකි බව විනිසුරුවරයා සඳහන් කර ඇත.

මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙම නඩු තීන්දුව පිළිබඳව අධ්‍යයනය කර ඉදිරි පියවර සඳහා කෙටි දිනයක් ඉල්ලා ඇත.

එම ඉල්ලීමට විරෝධය පළ කර ඇති රවි කරුණානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණය පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට දුන් තීරණයත් එක්කම සමස්ත අධිචෝදනා පත්‍රයම පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව තර්ක කර ඇත. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බවය. ඒ අනුව එය ඉල්ලා අස්කර ගත යුතු බවද, ඔහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර ඇත.

මෙම නඩු තීන්දුව අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු, නඩු විභාගය කල් තැබීම සදාචාරාත්මක නොවන බව ප්‍රකාශ කර ඇති සභාපති විනිසුරුවරයා බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වය සහිතව මෙම නඩුවේ සෙසු චෝදනා වලට අදාල විභාගය පැවැත්වීම සඳහා මැයි මස 4 වනදා යළි කැඳවන ලෙස නියෝග කර ඇත.

Social Sharing
නවතම