රටේ මාධ්‍ය නිදහස සහ පුද්ගල නිදහස කඩාගෙන වැටිලා

රටේ ජනමාධ්‍ය නිදහස මෙන්ම පුද්ගලික නිදහස ද මේ වනවිට ඉතාමත් කණගාටුදායක මට්ටමකට ඇද වැටී ඇති බව 43 සේනාංකයේ සභාපති කරු පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.

එම සේනාංක මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට රට පාලනය කරමින් සිටින ආණ්ඩුව රටේ ආර්ථිකය, මහජන සුබ සාධනය, ප්‍රජාතන්ත්‍රවාදය ආදී සියළු අංශවලින් අසමත් පරාජිත පාලනයක් බවට පත්වී හමාර බවය.

පාලනය භාරගෙන අවුරුදු තුනක් ගත වෙන්ටත් මත්තෙන් ලංකාවේ බිහි වුනු කිසිම ආණ්ඩුවක් මෙවන් තත්ත්වයකට පත්වෙලා නැතිබව ප්‍රකාශ කරන ඒ මහතා ආණ්ඩුව කරවන දේශපාලනඥයන්ගේ ගෞරවය නැතිවෙලා තිබෙන බවත්, රටේ රාජ්‍ය නායකයාගේ කතාවකට මිනිස්සු දක්වන්නේ ඉතාම නරක ප්‍රතිචාර බවත්, මේ ගෞරවය අහිමිවී යාමයි නිසා අද මේ පාලක කණ්ඩායම වියරුවෙන් හැසිරෙන බවත් ප්‍රකාශ කරයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට නාදුනන පිරිසක් එල්ල කළ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වන ඒ මහතා එම ප්‍රහාරය ඉතාම බියගුළු මට්ටමේ කැත ප්‍රහාරයක් බව ප්‍රකාශ කරයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව දිගටම අදහස් දැක්වූ ශෙහාන් මාලක සුදු වෑන් එකකින් පැහැරගෙන ‍යාම පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව සම්බන්ධයෙන් සුළු මට්ටමේ හෝ විවේචනයක් ගේන බලපෑම් සහගත මාධ්‍ය ක්‍රියාකාරිකයන් බියගැන්වීමටත්, දඩයම් කිරීමටත් රජය යම්කිසි වැඩපිළිවෙළක් ගෙන යමින් තිබෙන බවය.

මෙහිදී 43 සේනාංකයේ නායකයා හැටියට කටයුතු කරන පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ඉලක්ක කරගෙන ඉදිරි දිනවලදී විශාල මඩ ප්‍රහාරයක්, මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරන්න යම් යම් කල්ලි කණ්ඩායම් සූදානම් වී සිටින බව දැනගන්නට තිබෙන බවත්, ආන්ඩුවේ මෙම නව තත්ත්වයට විරුද්ධව ජනතාව වහාම නැඟී සිටිය යුතු බවත් කරු පරණවිතාන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම