චමුදිතගේ නිවසට ගූ ගැසීම සහ ඇමති පුතාගේ වැට පැනීම

මේ වනවිට අපි කවුරුත් දන්නවා චමුදිත සමරවික්‍රම කියන මාධ්‍යවේදියාගේ පිළියන්දල නිවසට ආයුධ පෙන්වලා ඇතුල්වුණ සහාසිකයෝ චමුදිතගේ නිවසට මොකද කරලා ගියේ කියලා. ගල් මුගුරු කක්කා ප්‍රහාරයක් එල්ලකරලා ගිය මේ මුහුනු වසාගත්ත මැරයෝ පිටිපස්සේ කවුද ඉන්නේ? සමහරු කියනවා පියුමි හංසමාලි කියන කාන්තාව ඉන්නවා කියලා. සමහරු කියනවා මේක හිරු ටීවී එකේ රේටින්ග්ස් වැඩිකරගන්න ගහපු ගැටයක් කියලා. මට නම් හිතෙන්නේ මේක ඊටවඩා බරපතළයි කියලා. චමුදිතට එරෙහිව ටිකක් කෑගෑවට පියුමි හංසමාලිට මේ ප්‍රහාරය එල්ල කරන්න ශක්තියක් ඇති කියලා මටනම් හිතෙන්නේ නෑ. මේ ස්ථානය පිළියන්දල පොලීසියට ආසන්න තැනක්. මේ ප්‍රහාරය එල්ලවුණාට පස්සේ මේ ලියුම්කරුට කතාකරපු පොලිස් උත්තමයෙක් කීවේ මේ මැරයෝ පිළියන්දල පොලීසිය ඉස්ස‍රැහින් තමයි යන්න ඇත්තේ කියලා. ඒ කොහොම වුණත් පිළියන්දල නගරයේ සීසීටීවී පරීක්ෂා කළානම් මේ සහාසිකයෝ කවුද කියලා සොයාගැනීම අසීරු නැහැ කියලා තමයි මිනිහගේ කතාව.

එක්නැළිගොඩලා අතුරුදන් කරලා ලසන්තලා ඝාතනය කරලා අපි ඒ ගැන කතා කරනකොට මේ කියන චමුදිතලා ඒවා දිහා බැලුවේ හාස්සයෙන්. විකට සිනහාවෙන්. ඒක කුරහන් සාටකයෙන් අමුඩය ගසාගෙන හිටි යුගය නෙව!. කමක් නෑ ඔන්න දැන් මරණය බිය වාරණය තමන්ගේ නිවසේ දොරට තට්ටුකරලා. දැන් තමන්ට එන හැඟීමයි සන්ධ්‍යා එක්නැළිගොඩට ආව හැඟීමයි දෙකම එකයි කියන එක චමුදිත තේරුන් ගනී කියලා හිතනවා. කොහොම වුණත් මේ සහාසිකයන් කවුද කියන එක සොයාගැනීමේදී චමුදිත වැඩකරන හිරු ආයතනය වැදගත්. හිරු ආයතනයේ ක්‍රියාකලාපය හරහා මේ ෆයිල් එක ඇරිලා තියෙන්නත් පුලුවන් නැතිනම් වැහිලා යන්නත් පුලුවන්.

මේ සිදුවීම මෙහෙම වෙනකොට මුහුනු පොතේ හරි අපූරු පෝස්ටෙකක් පළකරලා තිබුණා පොලිස් ඇමති සරත් වීරසේකරගේ පොලිස් පුතා. දැනගන්නට තියෙන විදිහට මේ කියන හාදයා පොලිස් ඩොක්ටර් කෙනෙක්. නම සචිත්‍ර අදීෂ වීරසේකර. ඇත්තටම මිනිහා තමයි තාත්තගේ දේශපාලන ව්‍යාපාරය කරට අරගෙන කරන හාදයා. ඊළඟ ඉලෙක්ෂන් එකේ දී තාත්තා වෙනුවට කොළඹින් ඉල්ලන්න ඉන්න කෙනා සචිත්‍ර වෙන්න පුලුවන්. හැවෝම කියන්නේ සචිත්‍ර තමයි අමාත්‍ය සරත් වීරසේකරගේ උපදේශකයා කියලා. ඒක එහෙම නම් මේ අපූර්ව පෝස්ටුව කියන්නේ කුමක්ද? ඉස්සෙල්ලාම මේක කියවලා ඉමු. ඔහු සිය මුහුනු පොතේ මෙහෙම ලියනවා ‘ ගල් වලට සහ අසූචි වලට අපහාස කළ අය හෙළා දකිමු’ මට නම් හිතෙන්නේ හොරාට කළින් කෙහෙල්කැන වැට පැන්නා වගේ එකක් මේක. කොහොමවුණත් ඔහු මේ වෙනකොට මේක ෆේස්බුක් පිටුවෙන් ඉවත් කරගෙන තියෙනවා. ඒ ඉවත් කරගැනීමත් අපේ සැකය තවත් වැඩි කරනවා.

chamuditha samarawickrama attack Sachithra weerasekara attack on journalist

chamuditha samarawickrama attack Sachithra weerasekara attack on journalist

කොහොමවුණත් අමාත්‍ය සරත් වීරසේකර පොලිස් දෙපාර්තමේන්තුව සිය භාරයට අරගෙන වැඩ කරන මේ කාලය තමයි පොලීසිය වැඩියෙන්ම දූෂණය වුණ කාලය. පොලීසිය ඇතුලේ විනයවත්ව ප්‍රතිපත්ති ගරුකව රාජකාරි කරපු ගොඩක් නිළධාරීන් අද මේ අමාත්‍යවරයා සමග වැඩ කරන්න බැහැ කියලා මැසිවිලි නඟනවා. එන්න එන්නම දේශපාලන අතපෙවීම් වැඩි වෙන බව තමයි පොලිස් නිළධාරීන් කියන්නේ. අමාත්‍යවරයා ළඟ වැඩකරන සාමාන්‍ය නිළධාරීන්ගේ අවශ්‍යතා වෙනුවෙනුත් පොලිස් රාජකාරි බල්ලට දාන්න වෙලා අද. මෙවැනි වටපිටාවක අමාත්‍යවරයාගේ පොලිස් පුතා කරන මේ හෙළිදරව්ව සෑහෙන්න වටිනවා පරීක්ෂණ අංශවලට. සීඅයිඩීයට තියෙන්නේ ශෙහාන් මාලක ගත්තා වගේ සුදු වෑන් එකක් අරගෙන ගිහිං මේ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන කට උත්තරයක් අරගන්න.

කේ. සංජීව

Social Sharing
නවතම