මාධ්‍ය ප්‍රජාව ප්‍රහාරය බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුයි..!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද (14) අලුයම පැමිණි ආයුධ සන්නද්ධ මැරයන් එල්ල කළ අසූචි සහ ගල්මුල් ප්‍රහාරය පිළිබඳව ‘අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ’ අපි අපගේ බරපතළ විරෝධය දක්වන අතර එම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබඳ අයිතිය, හැමදෙනාම සතු අත්හල නොහැකි අයිතියක් බව අප අවධාරණය කරමු. කොතෙක් බාධක පැමිණියත්, මාධ්‍ය ආචාර ධර්ම මත පදනම්ව ජනමාධ්‍යවේදීන් සත්‍ය තොරතුරු පුරවැසියා වෙත ගෙන යා යුතුය. කිසියම් පුද්ගලයෙක් පක්ෂයක් හෝ කණ්ඩායමක් එයට විරුද්ධව කටයුතු කරන්නේ නම් ජනමාධ්‍ය සමාජය එයට එරෙහි විය යුතුය. සටන් වැදිය යුතුය. මේ අවස්ථාවේදී ජනමාධ්‍ය සංගම් පටු දේශපාලන මත පසෙකලා එක්සත්ව මෙම නව තත්ත්වයට විරුද්ධව සටන් කළ යුතුය. ‘අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ’ අප සැමවිටම ඒ සඳහා සූදානම් බව කිව යුතුය.

ඒකාධිපති බලතල ක්‍රියාත්මක කරන්න යැයි ජනාධිපතිවරයාට සෑම තැනකින්ම උපදෙස් ප්‍රසිද්ධියේ ලැබෙන පසුබිමක මෙම නින්දිත ප්‍රහාරය පිළිබඳව ජනමාධ්‍ය ප්‍රජාව සිය බරපතල අවධානය යොමුකළ යුතු යැයි ප්‍රකාශ කරන ‘අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ’ මෙම ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න යැයි ජනමාධ්‍ය අමාත්‍යවරයාට සහ රජයට බල කරමු.

chamuditha samarawickrama attack on journalist press freedom

කේ. සංජීව

කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන්

Social Sharing
නවතම