වංචා, දූෂණ හමුවේ ජනාධිපතිට තවදුරටත් බබෙක් විය හැකිද?

පවුල් දේශපාලනය කියන එක ලංකාවේ අපිට අමුතු දෙයක් නෙවෙයි. පවුල් දේශපාලනයේ මහා ගස් වගේම පැලහැටිත් අපි දැකලා තියනවා. ඇත්තටම අද ලංකාවේ දේශපාලනට තියෙන එක කරුමයක් තමයි මේ පවුල් දේශපාලනය. පවුල් දේශපාලන ගැන කතා කරනකොට ලංකාවේ අපට අමතක නොවෙන දේශපාලන පවුල් තුනක් තියනවා. එකක් ඩී.එස් සේනානායකගෙන් පටන් ගත්ත සේනානායක පවුල. අනික S.W.R.D බණ්ඩාරනායකගෙන් පටන් ගත්ත බණ්ඩාරනායක පවුල. ඊළඟට ඩී.ඒ රාජපක්ෂගෙන් පටන් ගත්ත රාජපක්ෂ පවුල. මේ පවුල් තුන ගැන සළකා බැලුවොත් එයාලගේ දේශපාලන මතවාදවලට විවිධ විවේචන තියනවා. තවමත් තියනවා. හැබැයි සේනානායකලට, බණ්ඩාරනායකලට තවමත් මේ රටේ මිනිස්සුන්ගේ හදවත්වල ගෞරවයක් තියනවා. ඒක බොරුවක් නෙවෙයි. ඒ එයාලගේ දේශපාලන ප්‍රතිපත්තියට වඩා එයාලා තියාගෙන තිබුණ සමාජ තත්වය හින්දයි. ඒ තත්වයන් අතර ඉහලින්ම තිබුණේ සේනානායකලා, බණ්ඩාරනායකලා හොරු නෙවෙයි කියන සංකල්පය. අදටත් ඒක එහෙම තියනවා. බණ්ඩාරනායක පවුලේ අවසන් දේශපාලන පුරුක උන චන්ද්‍රිකාවත් ඒ නම කිලිටි කර ගත්තේ නෑ.

හැබැයි ඒ වැදගත්කම තියාගන්න රාජපක්ෂලාට බැරිවෙලා තියනවා. ඩී.ඒ රාජපක්ෂ ගැන නං කියන්න රටේ රාළ දන්නේ නෑ. හැබැයි මහින්දගෙන් පටන් ගත්තම අනිත් ඔක්කොම රාජපක්ෂලා දූෂිතයෝ කියලා Brand වෙලා ඉවරයි. වැඩේ තියෙන්නේ ඒක රාජපක්ෂලාගේ දේශපාලන විරුද්ධවාදීන් විතරක් නෙවෙයි රාජපක්ෂලාගේ අනුගාමිකයෝ පවා පිලිගන්න දෙයක්. ඇත්තටම රටේ රාළට අනුවත් රාජපක්ෂලා කියන්නේ අන්ත දූෂිත දේශපාලන පවුලක්. අද රාජපක්ෂලා දූෂිතයන්ට දේශපාලන පක්ෂයක් හදලා. රටේ රාළ කියන්නේ ඒ පක්ෂයේ උඩ ඉදන් පහලට බැලුවොත් දූෂිත ලේබලය වැදුන නැති කෙනෙක් නෑ. ඉන්නවා නං දශම ගානක්. ඇත්තටම ඒකට පොදුජන දූෂිත පෙරමුණ කිව්වත් කමක් නෑ. ඒ තරම් දූෂිතයි. මේ රටට දූෂිත දේශපාලනය හදුන්වා දුන්නේ රාජපක්ෂලා නෙවෙයි. හැබැයි දූෂිත දේපාලනඥයින්ට ලයිසන් දුන්නේ රාජපක්ෂලා කිව්වොත් ඒක වැරදි නෑ.

කවුරු හරි රාජපක්ෂ කෙනෙක්ගේ නමක් කිව්වොත් ඒ නමට ඉස්සරහින් Brand වෙච්චි හොර කමක් තියනවා. මහින්ද කියපු ගමන් සුනාමී කියනවා. බැසිල් කියපු ගමන් අම්මෝ කියන ටික දිග වැඩි හින්දා ලියන්නත් බෑ. නාමල් කිව්වත් එහෙමයි. ශෂීන්ද්‍ර කිව්වත් එහෙමයි. වෙන එකක් තියා ශිරන්ති ආර්යාව ගැන කිව්වත් එහෙමයි. මොකක් හරි කියන්න දෙයක් මේ රටේ මිනිස්සුන්ට තියනවා. ඇත්තටම ඒක දේශපාලන වෛරයට කියන කතාවක් නෙවෙයි. එහෙනං ඉතින් ජේආර්ගේ, මෛත්‍රීගේ, ගෝඨාභයගේ ආර්යාවන්ටත් එහෙම කියන්න එපායෑ. දේශපාලන වශයෙන් කොච්චර දොස් කිව්වත් චන්ද්‍රිකාට හොරා කියන්නේ නෑනේ. ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා ගෝඨාභය ජනාධිපතිතුමාටත් දූෂණ චෝදනා එල්ල උනා. මිග් යනා ගනුදෙනුව ගැන චෝදනා එල්ල උනා, රජයේ මුදල් යොදවාගෙන දෙමාපියන්ගේ සොහොන් කොත් හැදීම ගැන චෝදනා එල්ල උනා. ඒකේ වරද පිලිඅරගෙන ඒ සල්ලි ආපහු දෙන්නත් එතුමා එකඟ උනා.

රටේ රාළ මේ කතා කරන්නේ දූෂණ චෝදනා ගැන විතරයි. අනිත් ඒවා චෝදනා ගැන කතා කළොත් පොලොව පලාගෙන යන්න හිතෙයි. මේ ටික කියලත් සමහරවිට රටේ රාළට අඩි හයක් පොලොව යට යන්න වෙන්නත් බැරි නෑ. කමක් නෑ. ඒත් මේ කතාව කියන්න ඕනි. හැබැයි මේ දූෂණ චෝදනා හැම එකකින්ම වගේ අද රාජපක්ෂලා නිදොස් කොට නිදහස් වෙලා. නීතියේ තියෙන හිල්වලින් රිංගලා බේරුණාට කවදාවත් රාජපක්ෂලාට තමන්ගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. එතකොට කවුරු හරි අහයි රාජපක්ෂලාට හෘද සාක්ෂියක් තියනවද කියලා. ඒකටත් එකඟ වෙමින් රටේ රාළ එහෙනම් මෙහෙම කියන්නම්. රාජපක්ෂලාට කවදාවත් මේ රටේ ජනතාවගේ සාපයෙන් බේරෙන්න බෑ. ඒ සාපය දවස ගානේ බුර බුරා නැගෙන සාපයක්. කොහොම හරි ජනාධිපති උනාට පස්සේ ජනාධිපතිවරයාට හිමිවෙන මුක්තියට මුවා වෙන්න ගෝඨාභය ජනාධිපතිවරයාට පුළුවන් උනා. ඒ මුක්තියට පින් සිද්ධ වෙන්න ජනාධිපතිතුමා පහුගිය අවුරුදු දෙක ඇතුළේ රට ඉස්සරහා පෙනී හිටියේ මේ ලෝකේ ඉන්න පිරිසිදුම නායකයා විදිහට. ජනාධිපති වෙන්න එතුමා මේ රටේ මිනිස්සු ඉස්සරහා මවපු සුරලොකේ නිසා ගොඩක් අයට එතුමාට තිබුණ චෝදනාත් අමතක උනා. ඇත්තටම අමතක උනා නෙවෙයි හිතාමතාම අමතක කළා. 69 ලක්ෂයක් ඒ බව දැන දැනම එතුමා බලයට පත් කළා. ඇත්තටම ඒක දේශපාලන වාසිය වෙනුවෙන් සත්‍යය අමතක කිරීමක්. හැබැයි ජනාධිපතිතුමා හිතනවා නං ඒක සමාජ උප විඥානයේ නෑ කියලා ඒක මෝඩ සිතුවිල්ලක්. ඇත්තටම ඒක ඕනිම වෙලාවක උඩට එන්න පුළුවන් දෙයක්. ඒකට බලපාන්නේ ජනාධිපතිතුමාගේ භාවිතාව. දැන් තියන ප්‍රශ්නය තමයි ජනාධිපතිතුමාට තවදුරටත් තමන් අදූෂිතයෙක් කියලා රටට කියන්න පුළුවන්ද කියන එකයි? අද එතුමාගේ භාවිතාවම රටේ රාළ අර කියන සමාජ උප විඥානයට තට්ටු කරන්න පටන් අරන්. මේ රටේ මිනිස්සු රාජපක්ෂ පවුලේ අනිත් අය ගැන, ඒ වගේම කැබිනට් එක ගැන, එතන ඉදන් පහලට දූෂිතයොද ඉන්නේ කියලා අහන්නේ නෑ. මොකද අහන්න දෙයක්ද නෑ. එයාලා දූෂිතයෝ තමයි.

ඒ ප්‍රශ්නය අහලා වැඩකුත් නෑ. ඒ ඔක්කොම දූෂිතයෝ කියලා නොදන්න කෙනෙක් නෑ. දැන් අලුත් මාතෘකාව ඒක නෙවෙයි. දැන් සමාජ සංවාදය හැදිලා තියෙන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා දූෂිතයෙක්ද නැද්ද කියන එක සම්බන්ධවයි. මේ දක්වා ජනාධිපතිතුමා අදූෂිතයි කියලා තියාගෙන හිටපු කිරුළ, ඒ වගේම ජනතාව ඉතිහාසය අමතක කරමින් ජනාධිපතිතුමාට පලන්දලා තිබුණ අදූෂිත කිරුළ දැන් ගැලවෙන්න ඔන්න මෙන්න තැනට ඇවිල්ලා. රටේ රාළ දන්න විදිහට මේ රටේ දූෂිතතම ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ ආණ්ඩුවට. ඒ වගේම මේ අවුරුදු දෙක. රටේ රාළ හිතන්නේ ඒක දැන් මහින්දගේ ආණ්ඩුවේ දූෂණවලට දෙවෙනි වෙන්නේ නෑ කොහොමවත්. පහුගිය කාලේ මේ රටේ සිද්ධවුණ මහා පරිමාණ හොරකම්, වංචා, දුෂණ එකක් හෙළි කරගන්න ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අසමත් වෙලා. දූෂිතයන්ට දුන්න දඩුවමක් නෑ.

කොරෝනා වසංගතයේ පරීක්ෂණ කට්ටලයේ පටන්, පොල් තෙල් ටිකෙන්, සිනි ටිකෙන්, සුදු ලූණු ගෙඩියෙන්, පෝරවලින්, පාරවල් වලින්, Pandora Papers වලින් කරපු හෙළිදරව් වලින්, රටේ සම්පත් විකුණපු හොර ගිවිසුම් වලින් ගහපුවට කෝ දඩුවම්. ජනාධිපතිතුමාගේ මේ පාලන කාලයේ දවස් ගානට වඩා වෙච්චි හොරකම් ගාන වැඩි ඇති. එකකට දඩුවමක් දුන්නද? අඩුම ගානේ විනිවිද පෙනෙන පරීක්ෂණයක් කළාද? ඒ දූෂණ පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂලා, කැබිනට් ඇමතිලා. ජනාධිපතිතුමාගේ ගජ මිතුරන්, රාජපක්ෂලාගේ ගජ මිතුරන්, ඥාතීන්. දවසින් දවස වෙන දූෂිත ගනුදෙනු පහුගිය ගනුදෙනුවලට වඩා දෙතුන් ගුණයකින් වැඩී, හොරකම් දිගට හරහට සිද්ධ වෙනවා. දැන් ජනාධිපතිතුමාට ඒවා දක්කේ නෑ වගේ කතා කරන්න බෑ. එහෙම දිගටම කරන්න බෑ. මේ රටේ පළවෙනි පුරවැසියාට තවදුරටත් බබෙක් වගේ හැසිරෙන්න බෑ. ජනාධිපතිවරයා දැනටමත් ඒ ප්‍රශ්න කිරීමට ලක්වෙලා ඉවරයි?

දැන් ජනතාව ජනාධිපති අදූෂිතයෙක්ද, නැද්ද කියන එක ප්‍රශ්නය අහන්න පටන් අරන්? තවදුරටත් ජනාධිපතිවරයා යන්නේ ජනතාවට බබා පාට් එක දාගෙන නම් හෙට දවසේ රටේ ජනතාව ජනාධිපතිටත් දූෂිත ලේබලය අලවනවා. ඒ විතරක් නෙවෙයි එතුමා බොරුකාරයෙක් කියන ලේබලයත් අලවනවා. මේ රටේ වෙන හැම දෙයක්ම දන්න ජනාධිපති රටේ වෙන මහා පරිමාණ වංචා, දූෂණ ගැන විතරක් දන්නේ නෑ. එහෙම හිතන්න තරම් මේ රටේ ජනතාව බබ්බු නෙවෙයි? එතුමා කොහොමද මේවා නොදැන ගන්නේ. සියලු බුද්ධි අංශ තියෙන්නේ එතුමා යටතේ. ඒක නිසා තවදුරටත් උගුරට හොරා බෙහෙත් බොන්න ජනාධිපතිට අයිතියක් නෑ වගේම බොන්නත් බෑ. බෝලය දැන් තියෙන්නේ ජනාධිපතිවරයාගේ පැත්තේ. ගෝඨාභය රාජපක්ෂගේ මේ පාලන කාලය ලංකාවේ දූෂිතම කාලයයි කියන කළු පැල්ලම දැන් ඉතිහාස පොතේ ලියවිලා හමාරයි. දැන් මේ රටේ සිද්ධි පෙල ගැහෙන විදිහට මෙතනින් එහාට හොඳක් වෙයි කියලා රටේ රාළ නං හිතන්නේ නෑ. ඕනි නං ජනාධිපතිතුමා තව ටිකක් බබා වෙන්න හදයි. එතකොට ඒ බබා ගැන ලියන්න ගිහින් රටේ රාළට වැලිගම යන්න වෙයි.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි.ජයවේවා.

මීට

රටේ රාළ.

ප්‍රියන්ජිත් විතාරණ

Social Sharing
නවතම විශේෂාංග