බලශක්ති ස්වෛරීභාවය

2013 වසර වන විට ලංකාවේ සම්පූර්ණ බලශක්ති අවශ්‍යතාවය වූයේ බොර තෙල් ටොන් එකක් දහනයේදී පිට කරන ශක්තිය මෙන් එකොලොස් දහස් එකසිය විසිපහකි (11125 ktoe ). මින් ඒකක 4814ක් දැවමය ශක්ති ප්‍රභව වලින්ද, ඒකක 4582ක් ෆොසිල ඉන්ධන දහනයෙන්ද, ඒකක 1442ක් ජල මූලාශ්‍ර වලින් ශක්තිය ජනනය කිරීමෙන්ද ලබාගෙන තිබේ. මේ අනුව 2013 දී රටේ සම්පූර්ණ ශක්ති අවශ්‍යතාවයෙන් 56% සපුරාගෙන තිබෙන්නේ රට තුලම උත්පාදනය වන ශක්තියෙනි. ඉතිරිය සපුරා ගැනීම සඳහා වාර්ෂිකව බොර තෙල් මෙට්‍රික් ටොන් මිලියන දෙකක්ද, පිරිපහදු කල ඛනිජ තෙල් මෙට්‍රික් ටොන් මිලියන හතරක්ද, ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25ක් ද ආනයනය කොට තිබේ. මේ සඳහා වාර්ෂිකව වැය වී තිබුණු මුදල ඩොලර් බිලියන පහකි. මෙය රටේ සමස්ථ ආනයන වියදමෙන් සීයට විසි පහක් පමණ වූ අතර අපේ සමස්ථ ආදායමෙන් හරි අඩක් විය!. ලංකාව ඒ වන විටත් සිටියේ කුමන පරිමාණයේ බලශක්ති අවදානමකද යන්න එයින් පැහැදිලිය.

බලශක්ති ස්වෛරීභාවය රටක ජාතික ආරක්ෂාවේ ප්‍රධානතම සංරචකයක් වෙයි. විශේෂයෙන්ම, ප්‍රයෝජනයට ගත හැකි ෆොසිල ඉන්ධන නිධි නොමැති ලංකාව වැනි රටකට  තමන්ගේ බලශක්ති අවශ්‍යතාවය සහ උත්පාදන සිතියම පිලිබඳ විස්තීර්ණ අදහසක් තිබිය යුතුය. ලංකාව මැදි අදායම් රටක් වීමත් වේගයෙන් ප්‍රසාරණය වන මධ්‍යම පංතියකට උරුමකම් කීමත් මගින් සිදු වන්නේ මේ අර්බුධය තව තවත් සංකීර්ණ වීම මිස අනෙකක් නොවේ. මේ කාලය වන විට ලංකාවේ සම්පූර්ණ විදුලි අවශ්‍යතාවය ගිගාවොට් පැය 10,500 ක් වුනු අතර එය 4% ක වාර්ෂික අගයකින් ඉහල යමින් තිබිණ. මෙමං අගයෙන් 38%ක් ගෘහස්ත පරිභෝජනය විසින් ඉල්ලා සිටි අතර 39%ක් කර්මාන්ත විසින්ද, 20%ක් වාණිජ ආයතන මගින්ද ඉල්ලා තිබිණි. මෙම සියලු අගයන් පැවතියේ වේගයෙන් වර්ධනය වන කලාවකය.

එවකට මිලියන 5.2ක් වුනු වාහන ගොන්නෙන් මිලියන 3.6ක්ම සමන්විත වූයේ මෝටර් බයිසිකල් සහ ත්‍රිරෝද රථ වලිනි. මේ සියල්ල මගින් විමෝචනය කල කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ෆොසිල ඉන්ධන දහනයෙන් පිට කල සමස්ථ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් අඩක් වුනු අතර මෙම අගයත් වාහන ප්‍රමාණයත් පැවතියේ සීග්‍රයෙන් වැඩි වන ප්‍රවණතාවයකය. ඒ අනුව ප්‍රවාහන ක්ෂේත්‍රයද රටේ බලශක්ති අවශ්‍යත්වයෙන් සැලකිය යුතු කොටසකට වග කිවූ බව පැහැදිලිය.

රටක බලශක්ති අර්බුධයක් ආමන්ත්‍රණය කිරීමේදී බලශක්තිය හැරුණු කල ප්‍රවාහණය, සේවා ක්ෂේත්‍රය, ජනගහන ව්‍යාප්තිය සහ කර්මාන්ත  ව්‍යාප්තිය  වැනි වෙනත් ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් අන්තර්ග්‍රහණය කොට එම ආමන්ත්‍රණය සිදු කල යුතු බවට මේ අනුව පැහැදිලිය. එසේ කරන ආමන්ත්‍රණයක අර්ථය පවතින්නේ මේ සියලු ක්ෂේත්‍ර එක විට සලකා බලා අනුකලනාත්මක ලෙස අන්තර්ග්‍රහණය කරගන්නා සුළු සැලැස්මක් තුලය.

රටේ බලශක්ති කේන්ද්‍රය, ප්‍රවාහන කේන්ද්‍රය මෙන්ම ජනගහන කේන්ද්‍රය වන්නේද කොළඹයි. ඒ හැරුණු කල රටේ තිබෙන අනෙකුත් ප්‍රධාන නගරයි.  එසේ නම් ඉහත කි වර්ගයේ අනාගතවාදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා උචිතම ප්‍රවේශය වන්නේ නාගරීකරණය මුල් කරගෙන මේ සියලු ගැටළු එකිනෙකට සම්බන්ධ ගැටළු පොකුරක් ලෙස සලකා බැලීමයි.

යහපාලන ආණ්ඩුව යටතේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ස්ථාපනය කෙරෙන්නේ මේ අනුවය. එය එතෙක් නොතිබුණු ආකාරයේ ප්‍රවේශයකින් යුක්තව ලංකාවේ අනාගතය ආමන්ත්‍රණය කිරීමක් විය. 2015 අගෝස්තු මාසයේ එම අමාත්‍යංශය චම්පික රණවක අමාත්‍යවරයා අතට පත් වීමට පෙර ඔහු ජනවාරියේ සිට වගකීම් දැරුවේ බලශක්ති අමාත්‍යංශයේය. 2015-2025 කාල වකවානුව සඳහා වන බලශක්ති සැලැස්ම එලි දකින්නේ එහිදීය. ඉන් පසුව මහනගර අමාත්‍යංශයේ කටයුතු වලටද එය මාර්ගෝපදේශයක් වූවාට සැක නැත.

ජපන් ආධාර වලින් ඉදි කිරීමට තිබුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සුවිශාල බලශක්ති ප්‍රමාණයක් ඉතිරි කරමින් එනයින් තෙල් ආනයනය කිරීමට වැය වන ඩොලර් මිලියන ගණනාවක් ඉතිරි කර දෙන්නක් විය. නමුත් එය ආරම්භ වන්නට සියලු කටයුතු සූදානම් කර තිබියදී නැවතිණි.  කොළඹ කැලි කසල වලින් බලශක්තිය ජනනය කිරීමේ ව්‍යාපෘති වලට කොළඹ කේන්ද්‍රීය දේශපාලන ප්‍රහාරයක් එල්ල විය. හෝමාගම තාක්ෂණ නගරය විසින් අරමුණු කෙරුනේ රටට අවශ්‍ය නව දැනුම සම්බන්ධයෙන් වූ පර්යේෂණ  කිරීමය. රට සතු ප්‍රධානතම සම්පත මානව සම්පත වුනු රටකට වඩාත්ම පලදායි වන්නේ දැනුම් සහ පර්යේෂණ කේන්ද්‍ර බිහි කිරීමය. නමුත් හෝමාගම පොල් වත්තක පොල් ගෙඩි හාරදහසකට හිලව් කොට එය නතර කරන්නට සිදු විය.

දැන් රට පවතින්නේ මේවා පිලිබඳ දීර්ඝව කතා කල හැකි තත්වයක නොවේ. ඉදිර වසර දහය පහළොව නොව මීළඟ තුන් මාසය හෝ සති කිහිපය පිලිබඳ පමණි අපට දැන් සිතන්නට සිදු වී තිබෙන්නේ. කුමන හෝ ආකාරයකින් මීළඟ මාසය සඳහා ගැටලුව විසඳා ගත විට ප්‍රශ්නය යට යයි . නැවත වතාවක් එය මතු වන්නේ දෙතුන් ගුණයක් අර්බුධය මුහුකුරා යාමෙන් පසුවය.

දිනෙත් මල්ලිකාරච්චි

Social Sharing
නවතම විශේෂාංග