ගෝඨාගේ ව්‍යවස්ථාවෙන් පළාත් සභා හැලෙයි?

ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඉදිරි කාලයේදී ගෙන එනවා යැයි කියන නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට පියවර ගනු ඇතැයි ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මෙම නව ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත වන්නේ කුමන ආකෘතියක ආණ්ඩුක්‍රමයක් දැයි තවමත් හරිහැටි අනාවරණය නොවෙන අතර ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රමුඛ විශේෂඥ කමිටුව දෙසින් එන ආරංචි මාර්ග කියන්නේ මෙම නව ව්‍යවස්ථාව තුළින් පළාත් සභා ක්‍රමය අහෝසි වෙනු ඇති බවයි.

එහෙත් පසුගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වූ විදෙස් අමාත්‍ය මහාචාර්‍ය ජී එල් පීරිස් ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි මාස කිහිපය තුළ එළිදක්වන්නට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජාතික ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය බලය බෙදාහැරීමක් සිදුවනු ඇති බවයි. එහෙත් ව්‍යවස්ථා විශාරදයෙක් සහ නීති විශේඥයෙක් වන අමාත්‍යවරයා මෙම බලය බෙදා හැරීමේ ව්‍යුහය පිළිබඳව හෙළිදරව්වක් සිදුකර නැත.

මේ වනවිට මෙම නව ව්‍යවස්ථාව පිළිබඳ කටයුතු ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, මහාචාර්ය නසීමා කමුර්දීන්, ආචාර්ය ඒ. සර්වේස්වරන්, ජනාධිපති නීතීඥ සමන්ත රත්වත්තේ, මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න, මහාචාර්ය ජී.එච්. පීරිස් යන අයගේ සහභාගීත්වයෙන් යුක්ත විශේඥ කමිටුවක් මගින් සිදුකරමින් තිබේ.

Social Sharing
නවතම