ලංකාව කියන්නේ දැන් අවුරුදු 74 ක මහල්ලෙක්..!

අද ලංකාව එයාගේ 74 වෙනි උපන්දිනය සමරනවා. ලංකාව කියන්නේ හැමදාම වයසට ගිය රටක්. තරුණ උනේ නෑ කවදාවත්. නවීනත්වය අරහන් වුනා එයාට හැමදාම. අද ඉන්න ප්‍රතිපත්ති සම්පාදකයෝ රොත්ත දිහා බැලුවාම උන් බහුතරය ලංකාවට වඩා වයසයි. නාකියි. මේ වෙනකොට මහින්ද රාජපක්ෂට කොච්චර වයසයිද? කෙළින් ඉන්න පන නැහැ. ඒත් ගොඩක් දෙනෙක් ඔහු සක්‍රීය දේශපාලනේ ඉන්නවාට කැමතියි. ඒකට එක එක හේතු කියනවා. මේක හොඳම උදාහරණයක් නූතන ලංකාව ගැන කතාකරන්න. ඉතිහාස රේඛාවේ මරණය පෙනි පෙනී තමයි අද ලංකාව ජීවත් වෙන්නේ.

කාබනික බජව්ව..

74 වෙනි උපන්දිනය සමරණ කොට අද මේ කොදෙව්ව අස්සේ මිනිස් ජීවිත ගෙවෙන්නේ කොහොමද? අද වාටියේ මිනිස්සුන්ට දෙවේලක් කන්න අමාරුයි. ගමට එන චූන් පාන් මල්ලිගෙන් ණයට කිඹුලා බනිසක් අරගෙන තමයි, උදේ කෑම වේල පිරිමසා ගන්නේ බොහෝ දෙනෙක්. පොහොට්ටුවට මනාපය දීලා මේ මහල්ලාගේ මරණය ඉක්මන් කරපු ගම්මුන්ගේ සාතිශ්‍ය බහුතරයකගේ ඇත්ත ජීවිතය මේකයි. ඒ අස්සේ මේ අවුරුද්දේ මැද වෙනකොට සාඟතයක් එන විත්තිය තමයි පේන්න තියෙන්නේ.

පහුගිය අවුරුද්දේ ජනවාරිවල ඉඳලා නොවැම්බර් දක්වා මාස 11ක් අස්සේ මෙරටට ඩොලර් මිලියන 415ක එළවලු සහ පළතුරු ගෙනල්ලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියන මහළු මිනිසාගේ මහළු කාබනික බජව්ව අස්සේ තමයි මේ ගෙන්වීම් කරලා තියෙන්නේ. මේ අවුරුද්දේ ජනවාරියේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් රටින් ගේන්න කැබිනට් අනුමැතිය දීලා තියෙනවා. චීනය අපිට පිනට තවත් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් දෙනවා කියලා කියනවා. කාබනික බජව්ව නිසා වුණ එකම දේ අන්තිමට චීනේ උග්‍ර රසායනික හාල් කන්න වුණ එක. මේවෑන් පේන්නේ අවුරුදු 74ක මහළු ලංකාව මැරෙන්න ඔන්න මෙන්න කියලා නෙවෙයිද?

අවුරුද්දකට අපි හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් ගිලිනවා. උඩ කියන්න ඒ ප්‍රමානයෙන් භාගයකට වඩා ගේන්න තමයි මේ ට්‍රයි එක. ඒ කියන්නේ කාබනික බජව්ව හොඳටම වැඩ කරලා තියෙනවා කියලා නේද මේ කියන්නේ.

ණය කන්ද

වයස 74ක් වූ මේ මහල්ලා මේ අවුරුද්දේ ණය වාරික සහ ණය පොලී මුදල් විදිහට ඩොලර් මිලියන 7042ක් ගෙවන්න ඕනෑ. හැබැයි අතේ තියෙන්නේ ඩොලර් මිලියන 1000ක් විතර. එහෙම උනාම හිඟයට මොකෝ වෙන්නේ? හිඟය පියවාගන්න ආයිත් ණය ගන්න ඕනෑ, ඒත් දැන් තියෙන තත්ත්වය අනුව මේ මහල්ලාට ණය දෙන්න කවුරුත් කැමති නෑ. ඒකට හේතුව මේ යකා කොයි වෙලාවේ මැරිලා යයිද කියලා කියන්න බැරි නිසා. මේ මහල්ලා උපදිනකොට ණය බර තිබිලා තියෙන්නේ 15%යි. 73 වෙනි උපන්දිනය වෙනකොට ණය බර 100%යි. මේකට හේතුව මොකද්ද? මේ මහල්ලා ණය ගත්තට ඒවා හරියට ආයෝජනය කරලා නෑ. ණයක් ගත්තාම ඒකේ පොලිය හරි ගෙවන්න පුලුවන් වෙන ඉපැයීම් එන තැනක ආයෝජනය කරන්න ඕනෑ. ඒත් මේ මහල්ලා ඒවායින් කළේ තමන්ගේ දරුවන්ගේ සාක්කු පුරවන එක. සාක්කුවලට දාගන්න ලේසි වෙන්න අධිවේගී මාර්ග හදපු එක. නැව් එන්නේ නැති වරායවල් හදපු එක. ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොළවල් අලි ගහන කැලෑවල හදපු එක. එහෙමත් නැත්තං සම්මන්ත්‍රන ශාලා හදන එක. අඩුම මේවෑයින් ගාර්මන්ට් එකක් හදන්න මත්ස්‍ය අපනයන සැකසුම් කලාපයක් හදන්න මේ නාකියාට කල්පනාවක් ආවේ නෑ. කොටින්ම ණය අරගෙන චීස් කාපු එක තමයි කරලා තියෙන්නේ. නැත්තං සුදිය දාපු එක.

දැන් ඉතිං මොකද්ද කරන්න වෙලා තියෙන්නේ? දැන් ඉතිං පිට රටට කට බලියන් බලන් ඉන්න වෙලා. බංගලිදේශය වගේ රටවල් වලින් ණය ඉල්ලන්න වෙලා. ඉරානය වගේ රටවල් වලින් තේ දීලා තෙල් ඉල්ලන්න වෙලා.

මේ මහල්ලා අද කිසිම වැඩකට නැති රාජ්‍ය සේවයක් නඩත්තු කරනවා. මේක අවුරුද්දකට කොච්චර මුදල් කන්දක් කනවද? අවුරුද්දෙන් අවුරුද්ද සංවර්ධන නිළධාරී කියයි අර නිළධාරී මේ නිළධාරී කියයි තව තවත් බඳවා ගන්නවා. දැන් මේ රාජ්‍ය ආයතන අස්සේ මීමැසි ගොමුවගේ තමයි සේවකයෝ, හැබැයි මිනිහෙක් මේ යක්කුන්ගෙන් වැඩක් කරගන්න ගියාම අඩුම දවස් දෙකක්වත් රස්තියාදු වෙන්න ඕනෑ. මේ මහල්ලා මුන්ට පඩි ගෙවන්නේ රස්සාවට ඇවිත් නිදාගන්නවාට, කැන්ටින් එකේ අල්ලාප සල්ලාප වලට වගේ දේවල් වලට.

චින්තනයෙන් බාලයි

මේ මහල්ලා මේ අවුරුදු 74ට හදපු දරුවෝ හිතන්නේ කොහොමද? උන්ගේ චින්තනය කොහේද තියෙන්නේ? අවුරුදු 2500ක් ගැන දවල් හීන බලන ගමන් සුද්දෝ හදලා දීලා ගිය රේල් පාරවල් ටිකත් ගලවලා දැම්මා. රාවනාගේ දඬුමොනරය හොයන ගමන් ඉන්දියාවේ රෝද තුනෙන් පාරවල් පිරෙව්වා. අපනයන ආර්ථිකය සරු කරපු තේ රබර් පොල් වතු ටිකට අද මොකද වෙලා තියෙන්නේ? ඒවා ගැන අපේ අදහස මොකද්ද? ලොකුම ධනවතුන් කියන එවුන් අපනයන ආර්ථිකයට මොකද්ද කරන්නේ? මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක මේ මහල්ලගේ දරුවන්ගේ සිතුවිලි පරම්පරාවේ විශාල අවුලක් නිර්මානය වෙලා. මේ අවුල නිසා තමයි අද මේ මහල්ලා පන අදින්නේ. ඔන්න මැරෙයි මෙන්න මැරෙයි වගේ ජීවත් වෙන්නේ. මෙහෙම තත්ත්වයක් එක්ක අහසට වෙඩි තියලා ගුවන් යානා සංදර්ශන තියලා ඒවට ඉන්දියාවෙන් ණයට තෙල් අරගෙන ගහලා උපන්දිනය සැමරුවාට වැඩක් නෑ. ඊට වඩා හොඳයි ඉන්ජෙක්ෂන් එකක් ගහලා මේ මනුස්සයාව තරුණ කරන එක. ඒකට මුලින්ම කරන්න ඕනෑ දියවන්නාවේ ඉන්න මහල්ලෝ ටික එලවලා දාන්න ඕනෑ. අලුතින් ධනය උපද්දවන්නේ කොහොමද කියලා අඩුම මුහුද දිහා බලලා හරි හිතන්න ඕනෑ. ශ්‍රී ලන්කන් වගේ ඒවා ශත පනහකට විතර විකුණලා දාන්න ඕනෑ. මේවා කරලා මේ නාකියාව තරුණ කරන්න නම් ඉතිං අලුතින් හිතන්න සූදානම් මිනිස්සු ටිකක් එකතුවෙන්න ඕනෑ.

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග