“අපටත් 5000 දෙන්න” පුද්ගලික අංශය වීදි බසී!

දිනෙන් දින ඉහල යන ජීවන වියදම පහත හෙලමින් කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කරමින්  පෞද්ගලික අංශයේ කම්කරුවෝ දිවයින පුරා දියත් කළ  විරෝධතා උද්ඝෝෂණ මාලාව වැඩබිම් හා නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සාර්ථකව පැවැත්වූ බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

විශේෂයෙන් කටුනායක, බියගම නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව වැඩබිම් වල කම්කරුවන් මෙම විරෝධතා ව්‍යාපාරයට වැඩි සහභාගිත්වයක් පෙන්නුම් කර තිබේ.

basil Rajapaksha Rs.5000 allowance for private sector workers

“ඊළඟ පඩි දිනය වන විට මේ රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ කම්කරුවන්ට හා අනෙකුත් පිඩිත ජනතාවට නීතියක් සම්මත කරමින් ලබා දෙන බවට ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලා ලබා දිය යුතුයි. නැත්නම් එය ලබා දෙන තෙක් උද්ඝෝෂණ ක්‍රියා මාර්ගය ඉදිරියට ගෙන යනවා,” යැයි  කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ඉදිරිපිට 21 වනදා පැවති උද්ඝෝෂණයකට එක් වෙමින් නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පැවසීය.

නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයට අනුව මිලියන අටක් පමණ වන පෞද්ගලික අංශ කම්කරුවන්ට හාම්පුතුන් සමග සාමුහික කේවල් කිරීමේ බලය අහිමි වී ඇත්තේ සියයට පහක් වන ප්‍රතිශතයක් වැනි ඉතා අල්පයක් පමණක් වෘත්තීය සමිති තුල සංවිධානය වීම නිසාය.

basil Rajapaksha Rs.5000 allowance for private sector workers
නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්

“අපනයන ක්ෂේත්‍රයේ ඇඟලුම් කර්මාන්ත ශාලා පමණක් 350 ක් තියෙනවා. ඒත් වෘත්තීය සමිති හා හාම්පුතුන් එක්ක සාමුහික ගිවිසුමක් තියෙන්නේ මින් එක කර්මාන්ත ශාලාවක විතරයි,”යැයි ඇන්ටන් මාකස් සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ පෞද්ගලික අංශයේ කම්කරුවන්ට වැටුප් වැඩි කිරීමේ බලය හාම්පුතුන්ට ලබා නොදී  ඊට ආණ්ඩුව මැදිහත්ව නීතිමය පිළිගැනීමක් සහිතව ලබා දිය යුතු බවය.

ඉකුත් 19 වැනිදා කොළඹ CMU ශාලාවට රැස්වූ පෞද්ගලික අංශයේ කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති විසින් තීරණය කරනු ලැබුවේ ආණ්ඩුව විසින් රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට ලබා දෙන රුපියල් 5000 සහන දීමනාව අඩු ආදායම් ලබන සියලු පුරවැසියන්ට ලබා දෙමින්, අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල සියයට පනහකින් පහත හෙලන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කිරීමටය.

ජාවාරම් කරුවන්ට බඩු මිල තීරණය කිරීමට ඉඩ ලබා නොදී  මිල පාලනයක් ඇති කරන ලෙසද  ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

“වැටුප් ප්‍රශ්නය වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නයක් පමණක් නොවේ. ධීවරයන්ට, ගොවීන්ට ඇතුළු අනෙකුත් දෛනික ආදායම් උපයා ගන්නන්ටත් බලපානවා. වැටුප් වැඩි කිරීමක් විතරක් වැඩක් නැහැ බඩු මිල අඩු වෙන්නේ නැත්නම්,” යැයි ආණ්ඩුවේ හවුල් කාර පාර්ශවයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර සඳහන්  කළේය.

basil Rajapaksha Rs.5000 allowance for private sector workers
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර

දේවේන්ද්‍ර පෙන්වා දෙන්නේ පෞද්ගලික අංශ කම්කරුවන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන ලෙස ඉල්ලමින්, සෑම පුරවැසියෙකුටම රුපියල් 5000 හේ  සහන දීමනාව ලබා ගැනීමට වෘත්තීය සමිති සටන් කරන බවය.

“ජනතාවට ජිවත්වීමට සරිලන අවම ආදායමක් ලබා දීම ආණ්ඩුවේ වගකීමක් වුවත්, මේ ආණ්ඩුවට එහෙම උවමනාවක් නැහැ,” යැයි නිදහස් සේවක සංගම් ප්‍රධාන ලේකම් අවධාරණය කළේය.

basil Rajapaksha Rs.5000 allowance for private sector workers

ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා වතු සේවා සංගමය, නැෂනල් යුනියන් ඔෆ් සී එෆෙයාර්ස් ශ්‍රීලංකා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ නිදහස් සේවක සංගමය, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියක් වන අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ ලංකා වෘත්තීය සමිති සම්මේලනය, එක්සත් ජාතික පක්ෂයේ  ජාතික සේවක සංගමය, සමගි ජන බලවේගයට අයත් ලංකා ජාතික වතු කම්කරු සංගමය  සහ නව සමසමාජ පක්ෂයට අනුබද්ධව පැවති එක්සත් කම්කරු සම්මේලනය යන වෘත්තීය සමිති ආණ්ඩුවේ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරති.

සබැඳි පුවත් පහතින්…👇

https://www.aithiya.lk/12849/budget-proposals-rs-5000-allowance-basil-rajapaksa/

https://www.aithiya.lk/12786/basil-rajapaksa-allowance-of-rs-5000-2/

https://www.aithiya.lk/12606/rs-5000-allowance-minister-of-labor/

Social Sharing
නවතම