රාජ්‍ය සේවකයන්ට දුන් 5000 පුද්ගලික අංශයටත් දෙනවාද?

ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන රුපියල් පන් දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් ලබා දීම  සම්බන්ධයෙන් මේ සතියේ සාකච්ඡා ආරම්භ කරන  බව කම්කරු අමාත්‍යවරයා පවසයි.

ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයට ද එකසේ දැනෙන දෙයක් බැවින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රුපියල් පන්දහසේ දීමනාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුව ඇති බවයි  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ.

ඒ  සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡා වටය මෙම මස 07,10 සහ 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.

පෞද්ගලික අංශයේ ඇඟළුම් ක්ෂේත්‍රය,වතු ක්ෂේත්‍රය,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ සාප්පු හා කාර්යාල සේවක පනතින් ආවරණය වන ආයතන ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි හාම්පුතුන් කැඳවා ඔවුන් සමග  පන්දහසේ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් වන සුහද සාකච්ඡා සිදු කරන බව කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

සෑම රාජ්‍ය සේවකයෙකුටම මෙම මස සිට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට පසුගියදා අනුමැතිය හිමිව තිබුනි.

කම්කරු අමාත්‍යවරයා අවධාරණය කරන්නේ , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  විසින් ඉදිරිපත් කරන ලද එම කැබිනට් පත්‍රිකාව අනුව පෞද්ගලික අංශයටත් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම සඳහා පෞද්ගලික අංශයේ හාම්පුතුන් සමග සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීමට කම්කරු අමාත්‍යවරයාට  බලය පවරා ඇති බවයි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කිරීම සඳහා පර්චස් 20ට වඩා අඩු ඉඩම්වල ගෙවතුවල වගාව සඳහා රුපියල් 5,000 ක  දීමනාවක් සහ පර්චස් 20 ත් අක්කරයත් අතර ඉඩම් සඳහා රුපියල් 10,000ක දීමනාවක් ලබා දීමට ද රජය තීරණය කර තිබේ.

සෑම වතු පවුලකටම කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 80 බැගින් මසකට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 ක් ලබා දීමට පියවර ගන්නා බව ද මුදල් අමාත්‍යවරයා ජනවාරි 3 වැනි සදුදා පැවැත්වු  ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය යෝජනාව  නොවැම්බර් 12 වැනිදා  මුදල් ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මොහොත වන විට පෞද්ගලික අංශයේ ඉල්ලීම වුයේ රුපියල් දස දහසක වැටුප් වැඩිවීමකි.

ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී.ඒ.පී බස්නායකගේ අත්සනින් යුතුව නොවැම්බර් මසදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්  ඉල්ලා තිබුනේ  අය වැය යෝජනාව හරහා  රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් දහ අට දහසක වැටුප් වැඩිවීමකි.

අය වැය යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදී  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  කියා තිබුනේ  රටට උසුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වී ඇති බැවින්  තවදුරටත් රාජ්‍ය සේවයට ලොසින්ජර ලබාදීම සිදුකල නොහැකි බවයි.

ඔහුගේ එම ප්‍රකාශයට රාජ්‍ය සේවකයන්ගේ දැඩි විරෝධය පළ වී තිබුනි.

Social Sharing
නවතම