ඖෂධ සහ තෙල්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සරණං ගච්චාමි !!

ඉන්දීය රජය ලංකාවට ලබා දීමට යන ඇමෙරිකානු ඩොලර් කෝටි 50ක ණයට අදාළ ප්‍රධාන කොන්දේසිය යටතේ චීන වරාය පරිශ‍්‍රයේ පිහිටි තෙල් ටැංකි නව සමාගමක් ස්ථාපිත කොට වසර පනහක කාලයකට ඉන්දියාවට ලබාදීමට සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි දැනගන්නට ලැබේ.

රටේ උද්ගත ඩොලර් අර්බූදය හමුවේ අත්‍යාවශ්‍ය ඖෂධ සහ ඉන්ධන ඉන්දියාවෙන් ලබාගැනීම සඳහා මෙම ණය මුදල ලබාගැනීමට යෝජිත අතර ඒ සඳහා ඉන්දියාව මෙම තෙල් ටැංකි ස්ථිරවම තමන්ට ලබාදිය යුතුයැයි ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මේ සඳහා නව සමාගමක් ස්ථාපිත කරන අතර එමගින් 2002 දී සිදු වූ තෙල් සංස්ථාව සතු තෙල් අලෙවි කිරීමේ, බෙදාහැරීමේ ඒකාධිකාරී බලය අහෝසි වී එය විදෙස් සමාගමකට නතුවීමේ අනතුරක් ඇති බව තෙල් සංස්ථා වුර්තීය සමිති අනතුරු අගවයි. එම සමිති කියා සිටින්නේ මෙම සමාගම පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ගෙන එන්නට ප්‍රථම අදාළ සමාගම ස්ථාපිත කරනු ඇති බවයි.

මෙම සමාගම පිහිටවීමෙන් පසුව අත්සන් කරන්නට යන නව ගිවිසුම මගින් ඉහළ අංගණයේ තිබෙන තෙල් ටැංකි 85න් තෙල් ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවීමට නියමිතව ඇති අතර අනෙක් ටැංකි 61 ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියකට යොමුකිරීමට යෝජිතය. එහෙත් සංස්ථාවට හිමිවන තෙල් ටැංකි 24න් කිසිම වැඩක් ගත නොහැකි බවත් ඒවා අලුත්වැඩියා කරන්නේ නම් ඒ සඳහා විශාල මුදලක් දරන්නට සිදුවෙන බවත් තෙල් සංස්ථා සේවකයෝ ප්‍රකාශ කරති.

මේ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අද ( 27 වැනි දින) ශ්‍රී ලංකාව සහ ඉන්දියානු නියෝජිතයන් අතර පවත්වන්නට නියමිත බව දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම