අදවන් දිනක ඝාතනය කළ බෙනාසීර් භූතෝ…!

වසර දහ හතරකට පෙර අද වැනි දවසක පාකිස්ථානයේ හිටපු අගමැතිවරිය වූ බෙනසීර් භූතෝ මැතිවරණ රැළියකට එල්ල වූ ප්‍රහාරයකින් ඝාතනය විය. වහලය විවෘත කළ රථයේ ගමන් කරන බෙනසිර් වෙත ආධාරකරුවන් අතරින් එල්ල වන වෙඩි ප්‍රහාරයකි. සමබරතාව අහිමි වන ඇය ඇද වැටෙන්නට යනවාත් සමගම එහි මහා පිපුරුමකි. විසි හතරදෙනෙක් ජීවිතක්ෂයට පත් කළ මරාගෙන මැරෙන බෝම්බයත් සමගම පාකිස්ථානයේ 11 වැනි සහ 13 වැනි අගමැතිවරිය ලෙස දෙවරක් කටයුතු කළ බෙනසීර් භූතෝ මෙලොවින් සමු ගන්නීය.

‘මරණ තර්ජන සහ ජීවිත අනතුර නොතකා, මගේ රට වෙනුවෙන් සහ කණස්සල්ලෙන් සිටින රටවැසියන් වෙනුවෙන්, රට වැටී සිටින ප්‍රපාතයෙන් මුදවා ගැනීමට මම ආවෙමි’ රාවල්පිණ්ඩි නුවරදී තම අවසාන රැලිය අමතමින් බෙනසීර් භූතෝ එසේ පැවසූ අතර මිනිත්තු කිහිපයකින් ඇය අතීතයට එක් වූවාය. බෙනසීර් භූතෝ යනු දේශපාලනය සහ අවදානම් සහගත ඉරණමක් පවුලෙන්ම උරුම කරගත් කාන්තාවකි.

ඇයගේ පියා වන්නේ පාකිස්තානයේ හිටපු ජනපතිවරයෙකු සහ අගමැතිවරයකු වන සුල්ෆිකාර් අලි භූතෝ ය. පූර්ණ මුස්ලිම් සම්භවයක් නොමැති පාලකයෙක් වුවද කල්යත්ම අලි භූතෝ මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රසාදයට පත්වන්නේ ඔහුගේ දූරදර්ශී සහ ස්ථානෝචිත වැඩ පිළිවෙල හේතුවෙනි. නමුත් ජෙනරාල් ෂියා උල් හක් විසින් මෙහෙය වන ලද හමුදා කුමන්ත්‍රණයක් හරහා බලයෙන් පහ කරනු ලැබූ අලි භූතෝ අත්තනෝමතික තීන්දුවකින් එල්ලා මරා දැමිණි. එය මෑතකාලීන ලෝක දේශපාලනයේ වඩාත්ම දූෂිත සහ පක්ෂග්‍රාහී බලපෑම් සහගත නින්දාසහගත තීන්දුවක් ලෙස හැඳින්වේ. බෙනසීර් ගේ  සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙක් විෂ ශරීර ගත වී මිය යද්දී අනෙක් සොයුරා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වේ. මේ කාල සීමාවන් අතර බෙනසීර් භූතෝ වරින් වර නිවාස අඩස්සියට පත් වුවද ඇය තම දේශපාලන ගමන අත්හැර දැමීමට සූදානම් වූයේ නැත.

පියා ඝාතනය වූ පසු පාකිස්තාන ජනතා පක්ෂයට නායකත්වය සපයන්නේ බෙනසීර් භූතෝය. 1988 වසරේ දී 35 වැනි වියේ පසු වූ ඇය පාකිස්ථානයේ අගමැති ධූරයට පත් වන්නේ ලොව මුස්ලිම් රාජ්‍යයක නායකත්වය ලද පළමු කාන්තාව ලෙස ඉතිහාසගත වෙමිනි. කාන්තා අභිවෘද්ධිය උදෙසා බොහෝ කටයුතු සැලසුම් කළ ද ඇය වසර දෙකක් ගත වන්නට මත්තෙන් ධුරයෙන් නෙරපා හැරිණ. නමුත් නැවතත් 1993 වසරේ දී මහජන ඡන්දයෙන් බලයට පත්වන ඇය 1996 වසර වන විට යළිත් බලය අහිමි කරගන්නේ ඇයටත් ඇයගේ සැමියා වන අලි සර්දාරි ටත් එරෙහිව එල්ල වන වංචා හා දූෂණ චෝදනා රැසක් ද සමගිනි.

අනතුරුව ලන්ඩනයේ සහ ඩුබායි හි වාසය කරන බෙනසීර් භූතෝ 2008 වසරේ පාකිස්ථාන මැතිවරණයට තරග කිරීම පිණිස 2007 ඔක්තෝම්බර් 18 වැනි දින කරච්චි නුවරට පිවිසෙන්නීය. ජින්නා අන්තර් ජාතික ගුවන් තොටුපොළේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු පුපුරුවාගත් බෝම්බයෙන් ඇය දිවි ගලවා ගත්තද එම ප්‍රහාරය හේතුවෙන් ජීවිත හානි 136 ක්ද 450 කට අධික පිරිසකට තුවාල ද සිදුවිය. එයින් දිවි ගලවා ගන්නා බෙනසීර් භූතෝ 2007 දෙසැම්බර් 27 වැනිදා රාවල්පිණ්ඩි නුවරදී මෙම ප්‍රහාරයට හසුව මරණය වැළැඳ ගන්නීය. මරණයට හේතුව වශයෙන් මුලින් එල්ල වූ වෙඩි ප්‍රහාරය සඳහන් වුවද පසුව පැවසුණේ මරාගෙන මැරෙන බෝම්බය නිසා හිස තදින් ගැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි.

භූතෝ පවුලට උරුම වූ අඳුරු දේශපාලන ශාපය රැගත් දිරිය දියණිය බෙනසීර් භූතෝ එලෙස තම දිවි ගමන නිම කරන්නිය.  එවකට ජනපතිව සිටි පර්වේස් මුෂාරෆ් ට එරෙහිව අධි චෝදනා ගොනු වුවද අද වන තෙක්ම ඇගේ ඝාතනය සැලකෙන්නේ නොවිසඳුණු අබිරහසක් ලෙසය. භූතෝ ගේ ඝාතනයෙන් පසු මහජන අප්‍රසාදයට ලක්වන ජනපති මුෂාරෆ් ඉල්ලා අස් වේ.

ඉන්පසුව පාකිස්ථාන ජනපතිවරයා වන්නේ භූතෝගේ සැමියා වන අසීෆ් අල් සර්දාරිය. ඔහු පාකිස්ථාන ජනපති ධූර ඉතිහාසයේ පස් වසරක ධූර කාලය සම්පූර්ණ කළ මුල්ම ජනපතිවරයා ලෙස 2013 වසරේ දී ධූරයෙන් සමු ගන්නේය.

බෙනසීර් ගේ ඝාතනයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී ඇයගේ සැමියා ද බලයට පත් වන්නේය. ඔහු තම ධුරකාලය සම්පූර්ණ කර ආපසු යන්නේය. නමුත් බෙනසීර් ගේ ඝාතනය අදටත් නොවිසඳුණු රහසක් ලෙස පවතින්නේය.

– සහන් කසීර වික්‍රමසිංහ –

ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී

Social Sharing
නවතම විශේෂාංග