කාලය කියන්නේ හැමදේම…!!

කාලය කියලා කියන්නේ හැම දේම. ඔව් එහෙම කියන එක තමයි නිවැරදිම. ඒත් පොඩි ප්‍රශ්නයක්.. අපිට පුලුවන් ද ගතවෙන කාලය අතින් අල්ලගන්න. හිතින් නවත්ත ගන්න. දෑසින් උරාගන්න.. ඔව් පුලුවන්. සිනමාව කියන්නේ ඒකට තියෙන හොඳම කලාව. ඡායාරූප කලාව ගත්තත් එහෙමයි. සිනමාව කියලා කියන්නේ කාල කැබලිවල එකතුවක්. ඡායා රූපය කියන්නේ අවකාශය මත කැටි ගැසුන කාල බිඳකට.. මේ දේවල් ලියන්න හිතුනේ පහත දැක්වෙන වදන් පොකුර උපුටන්න සහ ඡායා රූපය උපුටන්න. කියවලා බලන ගමන් මේ ඡායා රූප දෙක දිහා බලලා කාලය ගැන මම මේ කියන කතාව ගැන ටිකක් හිතන්න..

__________කේ. සංජීව_____

ඕලු නෙළුම් නෙරිය රඟාලා………

කිකිණි හඬන වළා නගාලා…..

ගඟුල් තොටිල්ලේ…මල් ඇතිරිල්ලේ

මගේ කුඩා ඔරුව හබල් ගා…

සිසිර සේනාරත්නයන් විසින් ගායනා කරන ලද මෙම ගීතය නොඇසූ ශ්‍රාවකයෙකු නොමැති තරම් ය. එය එතරම්ම ජනහදවත් තුළ ලැගුම් ගත් සෞන්දර්යාත්මක ගුණයෙන් අනූන ගීතයකි. මෙම ගීතය ඇතුළත් වූයේ මෙරට සිනමා වංශකතාවේ හැරවුම් ලක්ෂයක් වන දිවංගත ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමාවේදියාගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වන “රේඛාව” සිනමාපටයේ යි.

1956 වසරේදී තිරගත වූ රේඛාව චිත්‍රපටය

ඉන්දියානු අභාෂයෙන් මිදී දේශීය සිනමාවේ

සිංහල සලකුණ සටහන් කළ ප්‍රථම සිනමාපටයි. චිත්‍රාගාරයේ තිබූ කැමරාව එළියට ගෙන එමින් ලෙසටර් මහත්තයා “56 සිනමා විප්ලවය” සනිටුහන් කළේය.

රේඛාව චිත්‍රපටයේ ප්‍රේමවතී හා නිමල් යන

පෙම්වතුන් යුවළ ඔබට මතකද? මීට හැටපස් වසරකට (65) පෙර එම චරිතයන්ට පණ පොවන ලද්දේ ආනන්ද වීරකෝන් සහ මල්ලිකා පිලපිටිය (රංගන ශිල්පී රොශාන් පිලපිටියගේ

මෑණියන්) විසිනි. මේ ඉහත රූපයෙන්

දැක්වෙන්නේ එම වසරේ සුප්‍රසිද්ධ ෆිල්ම්ෆෙයා සඟරාවේ පළවූ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයකි.

රේඛාව තිරගත වී හරියටම වසර 65 කට පසු, එම ඉරියව්වෙන්ම ඔවුන් දෙදෙනා නැවත වරක් ඡායාරූප ගත කිරීමට මා භාග්‍යවන්ත වුණෙමි. එය මාගේ ඡායාරූපකරණ දිවියේ සුවිශේෂී

අවස්ථාවක් ලෙස මා සළකමි.

මේ අවස්ථාව මා හට උදාවූයේ

ගායන හා රංගන ශිල්පී ප්‍රියනාත් රත්නායක හා මනෝජා රත්නායක විසින් සංවිධානය කළ සම්මාන උළෙලකදීය.

සුවහසක් සිනමා රසිකයන් වෙනුවෙන් අද දින මේ ඡායාරූප ද්විත්වය මා විසින් පළ කරමි. හෙළ සිනමාවේ රිදී රේඛාවන් වූ ඔබ දෙපළට, නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.

( මෙය දයාන් විතාරණගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගතිමි…)

Social Sharing
නවතම විශේෂාංග