ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව සජබ පන්දම් අරගෙන…

දුවන්න පටන් අරගෙන තියනවා යැයි ජාතික සමගි ජනබලවේගයේ පඬුවස්නුවර ආසන සංවිධායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූයේ ඉන්ධන මිල වැඩිකිරීමට විරුද්ධව

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සහ පක්ෂයේ සාමාජිකයන් විසින් හෙට්ටිපොල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවයකට සහභාගී වෙමිනි.

දුප්පතාගේ කුප්පි ලාම්පුවෙන් ආණ්ඩුව පලිගනී, වහා තෙල්මිල අඩු කරනු, රට පස්සට තෙල් ඉහලට, වැනි නාම පුවරු සහ පන්දම් රැගෙන ඔවුන් මෙසේ විරෝධතාවයේ නිරතවිය.

අනතුරුව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය,

ඉන්ධන මිල රුපියලකින් දෙකකින් වැඩි උනාම බයිසිකල් පැදපු මහින්ද අප්පච්චිලා සහ අප්පච්චිලාගේ පුතාලට අපි කියන්නේ දැන් මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ දෙතුන් පාරක්ම ජනතාව ගැන කිසිම හැඟීමක් නැතුව මේ ඉන්ධන මිල වැඩි කෙරුවා.

Protests against fuel price hike

ඉන්ධන මිල වැඩිකරන හැම වෙලාවකම බැසිල් රාජපක්ෂ මේ රටේ නැහැ. කලින් වතාවේ ගම්මන්පිලට චෝදනා කරපු පොහොට්ටුවේ සාමාජිකයෝ මන්ත්‍රීවරු ටික බැසිල් රාජපක්ෂ ආවහම මොළ හතක් තියනවා කිවුවා. ඒ වැඩිකරපු ඉන්ධන මිල අඩු කරනවා කිවුවා. ගම්මන්පිලව ගෙම්බෙක් කෙරුවා. හැබැයි මොළ හත ආවා පාර්ලිමේන්තුවටත් රිංගුවා. පාර්ලිමේන්තුවට රිංගලා මුදල් ඇමතිවරයා බවටත් පත්වුනා. නමුත් අඩුවෙච්ච ඉන්ධන මිලක් නැහැ. ආපහු එයා අවුරුද්දට එයාගේ දරුමල්ලෝ බලන්න ගම්බිම් ගියාට පස්සේ ආය ඉන්ධන මිල වැඩිකෙරුවා. දැන් ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්න අවස්ථාවක්. ජනතාවට ජීවත් වෙන්න බැහැ.

අද වෙනකොට මිරිස් කරලක් රුපියල් දහයක් පහලවක් වෙලා. අල ළුෑණු කන්නම බැහැ. ජනතාව දැඩි දරිද්‍රතාවයකින් ඉන්නේ මේ වෙලාවේ. ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා ඇන්නා වගේ මේ වෙලාවේ ඉන්ධන මිලත් මේ විදියට වැඩි කරපුවහම මේ තියන භාණ්ඩ හා සේවාවන්ගේ මිල සියල්ල ඊටත් වැඩිය නොහිතන විදියට වැඩි වෙනවා.

ඊයේ පෙරේදා ජොන්ස්ටන් ඇමතිවරයා කියනවා ගහලා බැන්දත් එකයිලු බැඳලා ගැහුවත් එකයිලු කියලා. බදු පනවලා ජනතාවගෙන් මුදල් අය කෙරුවත් එකයිලු ඉන්ධන මිල කෙලින්ම වැඩි කරලා මුදල් අය කෙරුවත් එකයිලු. ඉන්ධන මිල වැඩිවෙනවා කියන්නේ කහට කෝප්පේ, බස් ගාස්තුවේ ඉඳලා සියල්ල වැඩිවෙනවා. අපි දන්නේ නැහැ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ගහලා බඳින්නේ කොහොමද බැඳලා ගහන්නේ කොහොමද කියලා. එයාට ඒ පිළිබඳව සමහරවිට අවබෝධයක් ඇති. රටේ ජනතාවට මේ අණ්ඩරදෙමළ පිළිබඳව අවබෝධයක් නැහැ. අපිටනම් තේරෙන්නේ රටේ ජනතාව බෙල්ලෙන් අල්ලගෙන බැඳගෙන ගහනවා කියන එකයි.

අද වෙනකොට රටේ ජනතාව වීදි බැහැලා ඉන්නවා. ධීවරයාට මුහුදු යන්න බැහැ. ප්‍රවාහන සේවා කරපු අයට ඒ වියදම් දරාගන්න බැහැ. එදිනෙදා වැඩට ගියපු අයට ඒ ගාස්තු දෙගුණ තෙගුණ වෙලා. අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා පවුනොදී ජනතාවට වදදෙන්න එපා කියලා.

පඬුවස්නුවර – දර්ශි අතපත්තු

2021.12.24

Protests against fuel price hike

Protests against fuel price hike

Social Sharing
නවතම